පුවත්

කිංගස් රෝහලේදී එන්නතක් අසාත්මික වී මියගිය රෝගියාගේ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉල්ලයි

Published

on

නාරාහෙන්පිට කිංග්ස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ලබාදුන් එන්නතක් අසාත්මික වී මියගිය රෝගියකුට කරන ලද ප්‍රතිකාරවලට අදාළ වෛද්‍ය වාර්තාව හා ඇඳ හිසපත් ලබාදෙන ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසිංහ මහතා එම රෝහලට ඊයේ (08) නියෝග කළේය.

එම එන්නත ලබාදුන් රෝහලේ හෙද නිලධාරීන්ගෙන් සහ මරණකරුට ප්‍රතිකාර කරන ලද වෛද්‍යවරුන්ගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙස ද අතිරේක මහෙස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.

නාරාහේන්පිට, ඇන්ඩර්සන් මහල් නිවාසවල පදිංචි පියල් හේමන්ත ගනේපොල නමැති අයගේ මරණය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පවත්වන විශේෂ විමර්ශනයට අදාළව මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.

අදාළ මරණකරු වන රෝගියා ඉකුත් 2023 මැයි 30 වැනිදා රෝහල වෙත ඇතුළත් කර තිබෙන බවත්, එම අවස්ථාවේදී රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරුන් ඔහු හට ‘Amoxicillin’ ඖෂධය අසාත්මික බව වාර්තා කර තිබෙන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

එසේ සටහන් කර තිබියදී අසාත්මිකතාව ඇති ඖෂධ වර්ගයේ ඖෂධයක් රෝගියා වෙත එන්නතක් මාර්ගයෙන් ලබාදීමෙන් අනතුරුව ජුනි 02 වැනිදා ඔහු මියගොස් ඇති බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

මෙම මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ අධිකරණ වෛද්‍ය එම්. එස්. රුහුල් හක් විසින් අදාළ මරණයට හේතුව වශයෙන් මරණකරු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වෛද්‍යවරුන් විසින් ලබාදී ඇති ප්‍රතිජීවක අසාත්මිකතාවක් හේතුවෙන් මරණය සිදුවී ඇති බවට වාර්තා කර ඇතැයිද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

මෙම මරණයට අදාළ මූලික විමර්ශන කටයුතු නාරාහේන්පිට පොලිසිය සිදුකළ බවත්, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය වෙත විමර්ශන කටයුතු පවරාගෙන සිදුකරගෙන යන බවත් අධිකරණයේදී අනාවරණය විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නාරාහෙන්පිට කිංග්ස් රෝහලේ වෛද්‍ය සේවා අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ආරච්චිගේ දෝන ක්‍රිස්ටීන් ශානි ද සිල්වාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇතැයි ද පොලිසිය දන්වා සිටියේය.

මෙම සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනයේ ප්‍රගතිය ලබන 29 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියම කළේය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් කුලරත්න මහතා පෙනී සිටියේය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සැපයීම ඇතුළු සිද්ධීන් සම්බන්ධ නඩුවේ සිවිල් අයිතිවාසිම් සුරැකීමේ සංවිධාන වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා මේ නඩුවේදී පෞද්ගලික රෝහල වෙනුවෙන් පෙනී සිටී.

Trending

Exit mobile version