පුවත්

කෝටි ගණනින් මුදල් තෑගි ලබන රේගු නිලධාරීන්

Published

on

වැටලීම් වෙනුවෙන්  රුපියල් කෝටියකට වැඩි මුදලින් ත්‍යාග ලබාගත්  ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් 174 දෙනකු  පිළිබඳව තොරතුරු අනාවරණයවී ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

නිලධාරීන් 35 දෙනෙකු 2016 වර්ෂයේ දී ද නිලධාරීන් තිස් දෙනකු 2017 වර්ෂයේදීද  නිලධාරීන් විසිඑක් දෙනකු 2018 වර්ෂයේදීද 16 දෙනකු 2019 වර්ෂයේදීද තුන් දෙනෙකු 2020 වර්ෂයේ දීද දාහත් දෙනෙකු 2021 වර්ෂයේදීද  නිලධාරීන් තිස් දෙදෙනෙකු 2022 වර්ෂයේදීද  නිලධාරින් 20 දෙනකු  2023 වර්ෂයේදීද රුපියල් කෝටියකට වැඩි  මුදලින්  මෙසේ ත්‍යාග  ලබාගෙන ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකා රේගුවේ ඉහළම ත්‍යාග මුදල් ලබාගෙන ඇති  නිලධාරීන් 100දෙනා එසේ ලබාගෙන ඇති ත්‍යාග මුදල්වල වටිනාකම කෝටි 104 ක් බව  බව  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන්ය.

ඉහළම ත්‍යාග ලැබූ නිලධාරියා ලබා ගත් ත්‍යාග මුදල් වටිනාකම ( 2017, 2021 සහ  2022)  පිළිවෙලින් කෝටි 9ක් කෝටි 12 ක්  සහ කෝටි 11 ක් වෙයි.

මේ අනුව 2016 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා නොකඩවා ත්‍යාග ලැබූ  නිලධාරියකුද වසර 6ක් නොකඩවා ත්‍යාග ලැබූ නිලධාරීන් 04 දෙනෙකුද වසර 5ක් නොකඩවා ත්‍යාග  ලැබූ නිලධාරීන් 09 දෙනෙකුද වසර 4ක් නොකඩවා ත්‍යාග ලැබූ නිලධාරින් 24 දෙනකුද වූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

වසර 7ක් නොකඩවා ත්‍යාග ලැබූ නිලධාරින් 01 අයකුද වූ අතර ඔහු ලැබූ ත්‍යාග මුදල් වල වටිනාකම රුපියල් කෝටි 38 ඉක්මවන බව වාර්තාව සඳහන් කළේය

රුපියල් කෝටියට වඩා ත්‍යාග  ලැබූ නිලධාරීන්ගෙන් එම ත්‍යාග සහ වැටුපට අමතරව රුපියල් ලක්ෂ 20කට වඩා ප්‍රතිලාභ ලබාගත් නිලධාරීන් සංඛ්‍යාව හතක් බව  විගණන වාර්තාවේ දැක්වේ.

මෙම තොරතුරු සඳහන් වන්නේ  කළමනාකරණය සහ අරමුදල්වල පරිපාලනය පිළිබඳ විශේෂ විගණන වාර්තාවේය.

Trending

Exit mobile version