තමාට රුපියල් ලක්ෂ 25ක වැටුපක් සහ තවත් වරප්‍රසාද ලැබෙන බවට දේශපාලකයන් විසින් සිදුකරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියයි.
ඊයේ (24) මහ බැංකු පරිශ්‍රයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී ජනමාධ්‍යවේදියකු නැගූ ප්‍රශනයකට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
ඒ වෙනුවට තමාට ලැබෙන්නේ රුපියල් ලක්ෂ හතරක නිල වැටුපක් සහ සාමාන්‍යයෙන් මහ බැංකු අධිපතිවරයෙකුට ලැබෙන පහසුකම් ප්‍රමාණය පමණක් බවද හෙතෙම කියා සිටී.
කෙසේ වෙතත් තමාට පෙර මහ බැංකු අධිපති ධුරයේ කටයුතු කළ තැනැත්තා කැබිනට් ඇමැතිවරයකුට පවා නොමැති ‘එස්ටීඑෆ් පන්නයේ’ ආරක්ෂාවක් පවා තබාගෙන කටයුතු කළ බවද ආචාර්ය වීරසිංහ සඳහන් කළේය.
“මම දැක්කා ඔය චෝදනාව සමහර දේශපාලනඥයෝ, මන්ත්‍රිවරු යටිගිරියෙන් කෑගහගෙන ඔහොම කතාවක් කියනවා. මම වගකීමෙන් කියනවා, ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යක්. ඉතාම කනගාටුයි, රටේ වගකිවයුතු දේශපාලනඥයෝ, මේ වගේ බොරු ප්‍රකාශයක් කළාම, ඒක ඇත්ත කියල හිතාගෙන හැමතැනම ප්‍රකාශ කිරීම ගැන. හැබැයි මම සාමාන්‍යයෙන් ඒවට උත්තර දෙන්නේ නැහැ. නමුත් ඔබ මාධ්‍යවේදියෙක් විදිහට අහපු නිසා ඒකට මම උත්තර දෙන්නම්.” යනුවෙන්ද ඔහු කීය.
තමාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කිසිම විශ්‍රාම වැටුපක් නොලැබෙන බවත්, යම්කිසි කාලයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු කළේ රට නියෝජනය කරමින් බවත් ඔහු කියා සිටියේය.
ඔහුට ලක්ෂ 25 විශ්‍රාම වැටුපක් ලැබෙන බවට වන කතාද ප්‍රතික්ෂේප කළ ඒ මහතා බැංකුවේ විශ්‍රාම ගිය නිලධාරියෙක් විදිහට හැමෝටම ලැබෙන ආකාරයේ විශ්‍රාම වැටුපක් ලැබෙන බව කියා සිටියේය.