පොලිසිය නැතුව වාහන අත්පත් කරගන්නත බැරි බවත්, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මැදිහත්වීමෙන් පොලිස් නීති දිසාවෙන් සාර්ථක විසඳුම් ලැබුණු බවත් ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා ඊයේ (08) පැවසීය.
ඊයේ(08) පොලිස් මූලස්ථානයේ ඉදිරිපිටට රැස්වූ ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය පොලිස් මූලස්ථානයේ ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වු අතර ඉන් අනතුරුව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි පොලිස් දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා සමග විරෝධතාකරුවන් පස් දෙනෙකුට සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදී තිබිණි.
එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති රුවන් මෙසේ පැවැසීය.
“අපේ සාකච්ඡා ඉතා සාර්ථක වුණා. අපිට හොඳ පිළිතුරු ලැබුණා. පොලිසිය විසින් නිකුත් කර තිබූ චක්‍රලේඛය දින හතරකින් නැවත සකස් කිරීමට පොලිසිය පියවර ගත්තා.මින් පස්සේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු නැතුව හිමිකරුවන්ගෙන් වාහන අත්පත් කර ගැනීමට කිසිදු ඉඩක් නැති බව පොලිසිය පැවසුවා. එම චක්‍රලේඛය දින හතරකින් සෑම පොලිස් ස්ථානයකට යවන බවට පොලීසිය පොරොන්දු වුණා.
සීසර්ලට පොලිස් පැමිණිලි දාන්න බැහැ. පොලිසියට ගොස් ඉල්ලීම් කරන්න පුළුවන් කල්බදු ආයතනයේ වැටුප් ලබන සේවකයන්ට පමණයි.
පොලිස් ස්ථාන 102 කට විරුද්ධව අපේ පැමිණිලි බාර දුන්නා. එම ස්ථානාධිපතිවරුන් පොලිස් මූලස්ථානයට කැඳවා විමර්ශන සිදුකොට පොලිස්පතිවරයා විසින් විනය ක්‍රියාමාර්ග ගන්නා බව පැවසුවා. මීට පස්සේ සීසර්ලට වාහන ගෙනියන්න බැහැ. පොලිසිය නැතුව ආවොත් වාහන දෙන්න එපා කියලා මම ජනතාවගෙන් ඉල්ලනවා.”