මෙරට ප්‍රබල පාතාල නායකයින් දෙදෙනකුට රටින් පලා යෑමට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර දෙකක් සැකසූ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයකු හා හිටපු නියෝජ්‍ය පාලකවරයකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (17) අත්අඩංගුවට ගැනිණ.
චමින්ද ජනක ගුණරත්න නමැති ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයකු හා ඉෂාර මෙන්ඩිස් නමැති ආගමන විගමන නියෝජ්‍ය පාලක තනතුරේ සිට දැනට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු වශයෙන් සිටින නිලධාරියකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
නුරේෂ් සුපුන් දයාරත්න හෙවත් “හීනටියන මහේෂ්” සහ ශාන් අරෝෂ් ලියනගේ හෙවත් “මතුගම ශාන්” යන පාතාල නායකයන්ට මෙසේ අසත්‍ය තොරතුරු මත විදේශ ගමන් බලපත්‍ර සකස් කරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නිලධාරීන් දෙදෙනා ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකින් අනතුරුව ඔවුන් දෙදෙනා පොලිස් භාරයට ගනු ලැබූ අතර අපරාධකරුවන්ට මෙලෙස විදේශ ගමන් බලපත්‍ර තවත් ලබා දී ඇද්ද යන්න සම්බන්ධයෙන් සහ තවත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට ඔවුන්ව රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය සැලැසුම් කර ඇතැයි ද වාර්තා වේ.
සැකකරුවන් දෙදෙනා මේ ගමන් බලපත්‍ර සකස් කිරීමට රුපියල් ලක්ෂ ගණනක මුදලක් ලබා ගන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
සැකකාර නියෝජ්‍ය පාලකවරයා විසින් සුපුන් දයාරත්න හෙවත් හීනටියන මහේෂ් නමැත්තාටද සැකකාර හිටපු නියෝජ්‍ය පාලකවරයා විසින් මතුගම ශාන් නැමැත්තාට ද ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය සාදා දී ඇති බව විමර්ශනවල දී අනාවරණය වී ඇත.
මානික්කුගේ දිනේෂ් සිල්වා යන ව්‍යාජ නම සහ ව්‍යාජ හැඳුනුම්පත් අංකයක් ඇතුළත් කර ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය සකසා ඇති බවට අනාවරණය වී ඇති අතර දොඩංගොඩ ලියනගේ ප්‍රාදේශ කුමාර ජයසිංහ නමැති ව්‍යාජ නාමය භාවිත කර මතුගම ශාන් නමැත්තාට ගුවන් ගමන් බලපත්‍රය සකස් කර දී ඇති බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.
ඩුබායි වෙත පැන ගොස් සිටින මතුගම ශාන් හා හීනටියන මහේෂ් මෙරට සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ඝාතන රැල්ල හා අපරාධවලට චෝදනා ලැබ ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති පාතාල නායකයන් දෙදෙනෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති පේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශන සිදු කෙරේ.
මූලාශ්‍රය – දිනමිණ