පුවත්

ප්‍රශ්නපත්‍රය ඉස්සුව තව අයෙක් අත්අඩංගුවට; අවලංගු වූ කෘෂි ප්‍රශ්න පත්‍රය පෙබරවාරි 01දා

Published

on

මෙවර පැවැති උසස් පෙළ විභාගයට අදාල කෘෂි කර්ම ප්‍රශ්න පත්‍රය සොරාගෙන සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව ප්‍රදේශයේ විද්‍යාලයක කාර්යාල කාර්ය සහායකවරයක් අද (15) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි වියේ පසුවන කාර්යාල කාර්ය සහායකයෙකු බවයි.

සැකකරු මොරටුව ප්‍රදේශයේ පාසලක විභාග ශාලාධිපතිවරයෙකුගේ, කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස කටයුතු කර ඇති බව අනාවරණය වී ඇත.

සැකකරු කෘෂි කර්ම ප්‍රශ්න පත්‍ර සිසුවකුට මුදලට විකුණා ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලින් නිරීක්ෂණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසීය.

අවලංගු වූ කෘෂි විද්‍යාව II ප්‍රශ්න පත්‍රය පෙබරවාරි 01 දා

මේ අතර, අවලංගු කරන ලද උසස් පෙළ කෘෂි විද්‍යාව II ප්‍රශ්න පත්‍රය පෙබරවාරි මස පළමු වැනිදා පැවැත්වීමට දැනට සැලසුම් කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

පසුගිය 10 වැනිදා පැවති මෙම ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට දෙපාර්තමේන්තුව පියවර ගත්තේ විභාගයට පෙර එම ප්‍රශ්න පත්‍රය පිටවී තිබෙන බව තහවුරු කර ගැනීමෙන් පසුවය.

මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් සහ ඊට අදාළ පිළිතුරු ලියා වට්ස්ඇප් මාර්ගයෙන් සංසරණය කළ බව කියන අම්පාර ප්‍රදේශයේ ගුරුවරයාගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබේ.

එම ගුරුවරයාට ප්‍රශ්න ලැබුණේ කෙසේද යන්න ඉදිරි දින කිහිපයේදී අනාවරණය කර ගැනීමට හැකි වනු ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටී.

සබැඳි පුවත් :

උසස් පෙළ ප්‍රශ්නපත්‍රය පිට කළ දමින්ද රිමාන්ඩ්

Trending

Exit mobile version