පුවත්

පිළිතුරුපත් ඇගයීමට ආ ගුරුවරියන් ඇදන් ආ ගවුම් ගැන අධ්‍යාපන අමාත්‍යංශයේ සාකච්ඡාවක්!

Published

on

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානයට පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගවුම්වලින් සැරසී පැමිණි ගුරුවරියන් පිරිසක් හරවා යැවීමේ සිද්ධිය ගැන අද (17) අධ්‍යාපන අමාත්‍යංශයේ සාකච්ඡාවක් පවත්වන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කර තීරණයක් ගන්නා බව පවසා තිබේ.

ඊයේ (16) දිනය පාසල් පැවැත්වෙන දිනයක් බැවින් පාසල තුළට පැමිණිය යුත්තේ සාරිය හැඳගෙන වුවද ඔවුන් ගවුම්වලින් සැරසී පැමිණීම හේතුවෙන් එම පාසලේ විදුහල්පතිනිය විසින් ඔවුන් පාසලට ඇතුළු කරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් ය.

මෙහිදී පිළිතුරු පත්‍ර ඇගයීමට පැමිණි ගුරුවරියන් පවසා ඇත්තේ එම ඇගයීම් මධ්‍යස්ථානයේ පාලනය විභාග කොමසාරිස් ජනරාල්වරයා සතු බැවින් ඒ පිළිබඳව විදුහල්පතිනියට වගකීමක් නොමැති බවය.

විදුහල්පතිනිය පවසා ඇත්තේ පාසලක යම් විනයක් ඇති බවත් පාසල තුළට පැමිණෙන සියලුදෙනා ඊට අනුගත විය යුතු බවය.

එහිදී දෙපිරිස අතර යම් බහින්බස්වීමක් ද සිදුවී ඇති අතර එය පාලනය කිරීම සඳහා පොලීසිය කැඳවීමට ද පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් එහිදී ද දෙපිරිසටම එකඟතාවයකට පැමිණීමට නොහැකි වී ඇති අතර, විභාග කොමසාරිස් ජනරාල්වරයා උපදෙස් දී ඇත්තේ එම මධ්‍යස්ථානය තාවකාලිකව වසාදමන ලෙසටය.

මූලාශ්‍රය – අද දෙරණ

Trending

Exit mobile version