කොළඹ නගරයේ රාජකාරී කරමින් සිටි කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකු අද (05) සවස අනතුරකට ලක්ව බරපතල තුවාල සහිතව රෝහල්ගතකර තිබේ.
කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුමේ දී මෙම අනතුර සිදුව ඇත.
මෙම පොලිස් නිලධාරියා හා ගැටුණු සුඛෝපභෝගී මෝටර් රථය, එම වටරවුමේ පිහිටි වතුර මලක් සහිත පොකුණ මත නතරවී තිබේ.
මෙම රථය පැදවූ බවට පැවසෙන උසස් පොලිස් නිලධාරියෙකුගේ පුත්රයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති, තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා වලස්මුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාගේ නියමය පරිදි නාරාහේන්පිට පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
(ඡායා : Accident1st)