බෞද්ධාගමට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකළැයි චෝදනා එල්ල වූ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු කොළඹදී පවත්වන ලද සාදයකට එක්වූ බන්ධනාගාර මූලස්ථානයේ කොමසාරිස්වරයකුට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ඊයේ (09) දැඩි ලෙස අවවාද කර ඇතැයි වාර්තා වේ.
මෑතකදී බන්ධනාගාර කොමසාරිස් තනතුරට පත්වූ මෙම නිලධාරියා දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ සාදයට සහභාගී වී ඇති බව මාධ්‍ය මගින් විකාශය වී තිබෙන අතර මේ ගැන අධිකරණ හා බන්ධනාගාර ඇමැති විජේදාස රාජපක්ෂගේද අවධානයට යොමුව ඇත.
මෑතකදී රක්ෂිත බන්ධනාගාර ගතව සිටිමින් ඇප මත මුදාහැර සිටින ජෙරොම් ප්‍රනාන්දුගේ සාදයකට බන්ධනාගාර කොමසාරිස්වරයකු සහභාගී වීම ප්‍රශ්නයක් බවත් සඳහන් කරමින් ඇමැතිවරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල් දෙණියගෙන් මේ ගැන දීර්ඝ වශයෙන් කරුණු විමසා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක්ද සිදුකරන ලෙසට නියෝග කර ඇත.
ඇමැතිවරයාගේ කරුණු විමසීමෙන් පසු බන්ධනාගාර මූලස්ථානයේම රාජකාරී කරන අදාළ කොමසාරිස්වරයා කැඳවා එම ක්‍රියාකලාපය දැඩිව විවේචනය කරමින් ඔහුට තරයේ අවවාද කර යැවීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පියවර ගෙන තිබිණි.
අධිකරණ ඇමැතිවරයා විසින් කරන ලද දැනුම් දීමට අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් අදාළ කොමසාරිස්වරයාගෙන් කරුණු විමසූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක සඳහන් කළේය.