මත්පැන් බව සිතා මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක වූ විෂ දියරයක් පානය කළ “ඩෙවොන් 5” බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනාගෙන් තවත් අයෙක් මියගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
ඒ අනුව මේවන විට මියගොස් ඇති ධීවරයින් ගණන 5කි.
තංගල්ල ධීවර වරායෙන් ඩෙවොන් 5 නමැති බහුදින ධීවර යාත්‍රාව ඉකුත් 6 වැනිදා ජාත්‍යන්තර මුහුදු සීමාවට ධීවර කටයුතු සඳහා පිටත් වී තිබුණේ ධීවරයන් 6 දෙනෙකුද සමගිනි.
ධීවර කටයුතුවල නිරත වෙමින් සිටි අතරවාරයේ මුහුදේ පාවෙමින් තිබූ යම් බෝතලයක් ඔවුන්ට හමුවී ඇති අතර එහි තිබූ දියරය මත්පැන් වර්ගයක් යැයි සිතා මෙම ධීවරයින් විසින් පානය කර ඇති බව වාර්තා විය.
අදාළ දියරය පානය කිරීමෙන් පසු එය විෂ වී යාත්‍රාවේ සිටි ධීවරයින් දැඩි ලෙස රෝගාතුරව තිබුණි.
මෙම යාත්‍රාව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 365ක් පමණ දුරින් යාත්‍රා කරමින් තිබූ බව සඳහන් ය.
ඒ අතරවාරයේ එහි සිටි ධීවරයෙක් ඒ අසල වූ තවත් ධීවර යාත්‍රාවකට රේඩියෝ පණිවිඩයක් ලබාදී තත්ත්වය පිළිබඳව පවසා තිබූ අතර ඒ අනුව එම යාත්‍රාවේ ස්කිපර්වරයා විසින් ඒ පිළිබඳව ගොඩබිම ඇති පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානය දැනුවත් කර තිබුණි.
ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණය මධ්‍යස්ථානයට සිදුකළ දැනුම් දීමට අනුව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් පරිදි නාවික හමුදාවට අයත් ”විජයබාහු නෞකාව” ඊයේ පස්වරුවේදීම ආපදාවට පත් ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශයට පිටත් කර යැවීය.
එමෙන්ම නාවික හමුදා වෛද්‍යවරයෙක් මගින් සන්නිවේදන තාක්ෂණය ඔස්සේ යාත්‍රාව හා සම්බන්ධ වෙමින් ආසාධ්‍ය තත්ත්වයෙන් පසුවන ධීවරයින් වෙත වෛද්‍ය උපදෙස්ද ලබාදී තිබේ.
කෙසේවෙතත් නාවික හමුදාව පවසන්නේ ඊයේ රාත්‍රීය වනවිටත් ඩෙවොන් 5 යාත්‍රාවේ සිටි ධීවරයින් 6 දෙනාගෙන් සිව්දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව තිබූ බවයි.
මියගිය අය අතර යාත්‍රාවේ ස්කිපර්වරයා වන නයන කාන්ත, පැතුම් දිල්ශාන් සහ ප්‍රදීප් නිශාන්ත අය සිටින බව වාර්තා වෙයි.
එවන් පසුබිමක ඩෙවොන් 5 යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය ඔස්සේ සිංගප්පූරූ ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ ”MV KOTA KAMIL” නම් වෙළෙඳ නෞකාවට ශ්‍රී ලංකා නාවික හමුදාව දැනුම් දීමක් සිදුකර තිබුණේ නිරුපද්‍රිතව සිටින ධීවරයින් මුදා ගැනීමට සහාය වන ලෙසයි.
ඒ අනුව අදාළ වෙළෙඳ නෞකාව අද උදෑසන වනවිට ආපදාවට පත් යාත්‍රාව වෙත සමීප වී එහි අසාධ්‍ය තත්ත්වයෙන් සිටි ධීවරයින් දෙදෙනා මුදාගැනුණද ඒ අතරින් එක් අයෙකුද මියගොස් තිබුණි.