තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයන් සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් අතරමං කර රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මුදලක් වංචා කිරීමේ චෝදනාව මත විමර්ශන අංශ මගහරිමින් සිටි අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ඊයේ (09) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ඔහු ඊයේ (09) නීතිඥයෙක් මාර්ගයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශය වෙත භාරවීමෙන් පසුවය.
මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශය විසින් විමර්ශන කටයුතු සිදුකරමින් සිටි අතර දිගින් දිගටම ඔහු විමර්ශන අංශ මගහරිමින් සිටි බව මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබිණි.
තායිලන්තයේ සමාගමක රැකියා ලබාදෙන බව පවසමින් සංචාරක වීසා මත පුද්ගලයන් ලාඕසයට රැගෙන ගොස් අතරමං කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි ලැබීමෙන් පසුව, කාර්යාංශය විසින් ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කළේය.
ඒ අනුව කාර්යාංශයේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් ජාවාරමට සම්බන්ධ බවට සැකපිට එක් අයෙක් අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.
මේ සමග ජාතික ජන බලවේගයේ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයාත් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කළ අතර ඔහු දිගින් දිගටම විමර්ශන අංශ මගහරිමින් සිටියේය.
මේ අතර කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරද ඊයේ (09) උදෑසන පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූවේය.
ඉන්පසුව මෙම සැකකරු මෙසේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයට භාරවී ඇති අතර ඉන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද (10) දිනයේදී හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.