පුවත්

වලිසුන්දරගේ කිකිළි බිජු අන්න තියෙනවා මරියකඩේ!

Published

on

ආනයනික බිත්තර, මුද්‍රා ඉවත් කර මරියකඩේ ප්‍රදේශයේ විකිණීමට ඇතැයි  ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා කියයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා ආනයනික බිත්තර, මුද්‍රා ඉවත් කර  වෙළෙඳපොලේ අලෙවි කරන බවට තමාට තොරතුරු නැතැයි කියා පුවත්පතකට ලබාදී ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදීය.

අසේල මහතා විමසා සිටියේ එසේනම් හෝටල්වල ශීත ගබඩාවල තබාගෙන බේකරි නිෂ්පාදනවලට යොදන්නට ලබාදුන් අදාළ බිත්තර තමාට ලැබුණේ කෙසේදැයි සිතා බැලීම වැදගත් බවයි.

කෙසේවුවද, ආනයනික බිත්තර, මුද්‍රා ඉවත් කර වෙළෙඳපොලේ අලෙවි කරන්නේද නැද්ද යන්න සොයා බැලීමක් සිදු කරන බවද ආසිරි වලිසුන්දර මහතා මාධ්‍යට පවසා තිබේ.

එම සොයා බැලීමේදී කිසියම් පාර්ශ්වයක් විසින් ආනයනික බිත්තර අලෙවි කරන බවට අනාවරණය වුවහොත් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද සභාපතිවරයා පවසා ඇත.

සිය සංස්ථාව මගින් කිසිදු අවස්ථාවක ආනයනික බිත්තර වෙළෙඳපොළට නිකුත් කර නොමැති බවද ඔහු පවසයි.

ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකදී අසේල සම්පත් මහතා කියා සිටියේ ආනයනික බිත්තර වෙළෙඳපොලේ අලෙවි වන බවත්, ඒවායේ මුද්‍රාවද පහසුවෙන් ඉවත් කළ හැකි බවයි.

Trending

Exit mobile version