පුවත්

විදෙස්ගත ශ්‍රමිකයන්ට ගුවන්තොටේදී දෙන තීරුබදු සහනය ඉහළට

Published

on

විදෙස්ගත ශ්‍රමිකයන්ට ගුවන් තොටුපලේ දී ලබා දෙන තීරුබදු සහනය ඉහළ දැමීමේ තීරණය මැයි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

අද (03) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ මේ අනුව තමන් එවන ලද මුදල් ප්‍රමාණය මත අතිරේක තීරුබදු සහන ලබා ගැනීමට හැකියාව පවතින බවයි.

කාණ්ඩ පහක් යටතේ මෙම සහනය ක්‍රියාත්මක වනු ඇත.

අමාත්‍යවරයා පැවසූ අන්දමට ඩොලර් 2400ක් – 4799ක් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 600ක අතිරේක තීරු බදු සහනයක් ද, ඩොලර් 4800ක් – 7199ක් අතර මුදල් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 960ක අතිරේක තීරු බදු සහනයක් ද, ඩොලර් 7200ක් – 11,999ක් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 1440ක අතිරේක තීරු බදු සහනයක් ද, ඩොලර් 12,000ක් – 23,999ක් අතර මුදල් ප්‍රමාණයක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 2400ක අතිරේක තීරු බදු සහනයක් මෙන්ම, ඩොලර් 24,000ක් හෝ ඊට වඩා වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 4800ක අතිරේක තීරු බදු සහනයක් මේ අනුව ලැබේ.

තවද, වසරක කාලයක් තුළ දී අදාල මුදල් රටට එවා ඇති ඕනෑම අයෙක්ට මෙම සහනය ලබාගැනීමේ අවස්ථාව විවෘතව පවතින බවත් ඔහු සඳහන් කළේය.

Trending

Exit mobile version