ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමක් හෙට (08) කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වෙන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා දන්වා ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කර ඇත්තේ, පක්ෂය තුළ මතුව ඇති අර්බුද සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බවයි.
ඊට අමතරව ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එහිදී තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බව ද, ඔහු ප්‍රකාශ කර ඇත.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුළු වීම තවදුරටත් තහනම් වන බව, පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ, පක්ෂ මූලස්ථානයේ ආරක්ෂාව තර කර ඇති බවයි.
අදාළ විමර්ශනය ක්‍රියාත්මක වන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා මරදාන පොලීසියට කළ පැමිණිල්ලකට අදාළවයි.
ඒ, පක්ෂ කාර්යාලයේ පැවති අත්‍යවශ්‍ය ලේඛණ කිහිපයක් අස්ථානගත වීම සම්බන්ධයෙනි.
විමර්ශන සඳහා රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ සහය ලබාගන්නා බව ද, පොලීසිය සඳහන් කළේ ය.
සබැඳි පුවත්
ශ්‍රීලනිප මූලස්ථානයේ තිබූ ලිපිගොනු කිහිපයක් අතුරුදන්