සූරියවැව මහවැලිකඩආර වැව මැදදී ඔරුවක් පෙරළීයෑමෙන් සිදුවූ අනතුරකින් අතුරුදන්වූ ගැහැනු ළමුන් තිදෙනාගෙන් 10 හැවිරිදි දැරියගේ සිරුර සොයාගෙන ඇත.
මෙම අනතුර සිදුවූ අවස්ථාවේදී ඔරුවේ පුද්ගලයින් 8 දෙනෙකු ගමන් කර තිබුණු අතර, ගැහැනු ළමුන් තිදෙනෙකු අතුරුදන් වී තිබුණි.
ඔරුවේ ගමන් කළ මාස 8ක බිලිඳෙකු ඇතුළු පස්දෙනෙකුව එම අවස්ථාවේදීම බේරාගැනීමට ගම්වාසීන් සමත්වූ අතර, එම බිලිඳාගේ තත්ත්වය බරපතළ නොවන බවට වාර්තා වෙන බව පොලිසිය සඳහන් කරයි.
තවමත් අතුරුදන් වී ඇත්තේ 18 සහ 17 යන වයස්වල පසුවූ ගැහැනු දරුවන් දෙදෙනෙකි.
මෙම පිරිස කුරුණෑගල ප්රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවත්, ඥාතියෙකුගේ උත්සවයක් සඳහා මෙම ප්රදේශයට පැමිණ සිට ඇති බවටත් පොලිසිය වැඩිදුරටත් පවසයි.