පුවත්

හොර සහතික දී මුදල් ගැරූ Evolve හි හිමිකරු අජ්මාල්ට රටයාම තහනම් කරයි

Published

on

විදෙස් ගතවීමට සිටින තරුණියන්ට ළමා සහ වැඩිහිටි සාත්තු සේවා ඩිප්ලෝමා පාඨමාලා පවත්වමින් ව්‍යාජ සහතික නිකුත් කර රුපියල් ලක්ෂ ගණනක මුදලක් වංචා කරන ලදැයි කියන බම්බලපිටියේ ප්‍රසිද්ධ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් වන Evolve Collage of Education හි හිමිකරු වන ඉස්මත් මොහොමඩ් අජ්මාට විදෙස්ගතවීම තහනම් කරමින් අධිකරණය ඊයේ (04) නියෝගයක් නිකුත් කළේය.

බම්බලපිටිය පොලිසිය වෙත මේ වන විට ලැබී ඇති පැමිණිලි 45ක් පිළිබඳව සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසිංහ මහතා එම නියෝගය කළේය.

විවිධ නම්වලින් පෙනී සිටින අදාළ අධ්‍යාපන ආයතනයේ හිමිකරු සිටින ස්ථානයක් මේ වන විට සොයාගත නොහැකි වී ඇතැයි දන්වා සිටි බම්බලපිටිය පොලිසියේ නිලධාරින් එම නිසා එහි හිමිකරුට විදෙස් ගතවීම තහනම් කරමින් නියෝගයක් පනවන ලෙස ඉල්ලා සිටියේය.

මෙම අධ්‍යාපන ආයතනයේ උපදේශිකාවක් ලෙස කටයුතු කළ දැනට ඇප මත මුදාහැර සිටින ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි කහදුව අප්පුහාමිලාගේ නියුනි ආවේශිකා නමැත්තියට එරෙහිව අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් නිකුත් කළේය.

මෙම පුද්ගලික අධ්‍යාපන ආයතනයේ පාඨමාලා සම්බන්ධයෙන් ෆේස්බුක් හරහා පුළුල් ප්‍රචාරයක් කර ඇතැයි දන්වා සිටි පොලිසිය ඒ අනුව තරුණියන් විශාල පිරිසක් ඔවුන්ගේ වංචා සහගත ව්‍යාජ ඩිප්ලෝමා පාඨමාලාවල ගොදුරක් බවට පත්වී ඇතැයි ද දන්වා සිටියේය.

‘NVQ Level 4’ තත්ත්වයේ සහතික ලබාදෙන බව පවසමින් පාඨමාලා පවත්වාගෙන යමින් අදාළ අධ්‍යාපන ආයතනයේ මෙහෙයුම්කරුවන් තරුණියන් රවටා රුපියල් ලක්ෂ ගණනක විශාල වංචාවක් සිදුකර ඇතැයිද අධිකරණයට දන්වා සිටි පොලිසිය තරුණියන්ට ව්‍යාජ සහතික ලබාදුන් ඩිප්ලෝමා සහතික පත් ප්‍රදානෝත්වයන් පවත්වා ඇත්තේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී බවත් දන්වා සිටියේය.

එම ආයතයේ උත්සව වලට දේශපාලඥයන් වන අනුර ප්‍රියදර්ශන යාපා හා ශාන්ත බණ්ඩාර වැනි අයද සහභාගි වී ඇතැයි වාර්තා වේ.

එම අධ්‍යාපන ආයතනයේ උත්සවයකට ඔවුන් සහභාගිවී සිටි අයුරු

( ජායාරූප – Evolve Collage of Education ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී.)

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පද්මලාල්ගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Trending

Exit mobile version