පුවත්

කංජිපානිට තර්ජනය කළ නිසා ක්ලබ් වසන්ත ඝාතනය කලා ලොකු පැටී පාපොච්චාරණය කරයි

Published

on

දරුණු ගනයේ සංවිධානාත්මක අපරාධකරුවකුවූ මියගිය මාකඳුරේ මධූෂ්ගේ මුදල් ලබාදෙන්නැයි කංජිපානි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ක්ලබ් වසන්ත කංජිපානි ට කළ තර්ජනය මත ඔහු ඝාතනය කළ බවට බෙලරූස් රාජ්‍යයේ සිට මෙරටට රැගෙන ආ ලොකු පැටී නමැත්තා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හමුවේ පාපොච්ඡාරණය කර තිබේ.

ක්ලබ් වසන්ත ප්‍රසිද්ධ යූ ටියුබී නාළිකාවක් සමග පැවැති සංවාදයකදී තමාට තරහකාරයෝ දෙදෙනකු සිටින බවත් එකෙකු මළ බවත් අනිකා බියට රට පැන්න බවත් සඳහන් කළ බවත් එලෙස මළා යැයි සඳහන් කර ඇත්තේ මාකඳුරේ මධුෂ් බවත් රට පැන්නා යනුවෙන් හඳුන්වා ඇත්තේ කංජිපානි ඉම්රාන් පිළිබඳව බවත් ලොකු පැටී තවදුරටත් සඳහන් කර තිබේ.

එමෙන්ම මධුෂ්ගේ මුදල් ක්ලබ් වසන්ත සතුව තිබී ඇති බැවින් ඒවා කංජිපානි ඉල්ලීමත් සමග ක්ලබ් වසන්ත ඔහුට බැණ වැදීම හේතුවෙන් කංජිපානි දැඩි ලෙස ඔහු සමග උරණව සිටි බවද ඒ අනුව කංජිපානි ඉම්රාන් තමන් සමග එක්ව ක්ලබ් වසන්ත ඝාතනය මෙහෙයවූ බවද සැකකරු පාපොච්ඡාරණය කර ඇත. 

ක්ලබ් වසන්ත ඝාතනය සඳහා යොදාගත් ටැටූ මල්ලී නැමැත්තා තම උපන් ගමේ වීම හේතුවෙන් ඔහුවද ඒ සඳහා යොදාගත් බවද සැකකරු පවසා ඇත.

එමෙන්ම තමන් ව්‍යාජ විදෙස්ගමන් බලපත්‍රයක් සකසාගෙන ඩුබායි රාජ්‍යයට පලායෑමෙන් පසුව රොටුඹ අමිල නම් පාතාල කල්ලි සාමාජිකයා සමග බෙලරූස් බලා ගිය බවද එහිදී අත්අඩංගුවට පත්වූ බවද සැකකාර ලොකු පැටී නමැත්තා පවසා ඇත. 

ජාත්‍යන්තර රතු නිවේදන මත අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඊයේ දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාර දෙනු ලැබීය.

මොහු කලක් ශ්‍රී ලංකා යුද හමුදාවේ 07 වන රෙජිමේන්තුවේ සේවය කළ, අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංච් 36 හැවිරිදි පුද්ගලයකි. 

ලොකු පැටී ක්ලබ් වසන්ත ඝාතනය ඇතුළු මිනීමැරුම්, වෙඩි තැබීම්, බෝම්බ ප්‍රහාර, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රාශියක් සම්බන්ධව මෙරට අධිකරණ තුළ චෝදනා ලබා ඇත්තෙකි.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version