පුවත්

“කොතලාවල වෛද්‍ය උපාධිය කැඩෙට්, විදෙස් සිසුන්ට විතරයි”

Published

on

මෙම වසරේ සිට කොතලාවල වෛද්‍ය උපාධිය සඳහා ඇතුළත් වීමට අවස්ථාව හිමි වන්නේ කැඩෙට් භටයන්ට සහ විදෙස් සිසුන්ට පමණක් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.

අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ  2025- 2026 කණ්ඩායම සඳහා ශිෂ්‍යයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් පළ කර ඇති දැන්වීමක වගන්ති නිවැරදි කිරීමක් සිදු කළ යුතුව ඇති බවය.

ඒ අනුව, 2025- 2026 අධ්‍යයන වර්ෂය සඳහා කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වීමේ අවස්ථාව කැඩෙට් නිලධාරීන්ට සහ විදෙස් සිසුන්ට පමණක් හිමි වන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් ඇතුළත් කර ගැනීමට පසුගිය රජය මඟින් කැබිනට් අනුමැතිය ලබා දී තිබුණි.

දේශීය සිසුන් සඳහා ත්‍රිවිධ හමුදාවට හෝ පොලීසියට කැඩෙට් නිලධාරියෙකු ලෙස බැඳීමෙන් පමණක් සහ විදේශීය සුදුසුකම් ලත් සිසුන් සඳහා මුදල් ගෙවීමේ පදනම් මත පමණක් වෛද්‍ය උපාධිය ලබා දීමේ පෙර පැවති ක්‍රමවේදය වෙනස් කරමිනි.

ඒ අනුව, 2024 අධ්‍යයන වර්ෂයේ සිට සුදුසුකම් සපුරා ඇති දේශීය අයදුම් කරුවන්ද මුදල් ගෙවීමේ පදනම මත වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා ඇතුළත් වීමට අවස්ථාව හිමිවිය.

ශ්‍රී ලංකාවේ අනෙකුත් ජාතික විශ්ව විද්‍යාලවල සිසුන් බඳවා ගැනීම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව විසින් අනුගමනය කරනු ලබන Z අගයට (Z, Score) අමතරව තවත් අතිරේක සුදුසුකම් කිහිපයක් ද සහිතව සකස් කරනු ලැබූ ඇති නිර්ණායක අනුගමනය කරමින්, ගෙවීමේ පදනම මත එලෙස වෛද්‍ය උපාධිය සඳහා සිසුන් බඳවා ගෙන තිබුණි.

කෙසේවෙතත්, මේ වසරේ සිට කැඩෙට් භටයන්ට සහ විදෙස් සිසුන්ට පමණක් කොතලාවල වෛද්‍ය උපාධිය සඳහා ඇතුළත් වීමට අවස්ථාව ලබා දීමට වත්මන් රජය තීරණය කර තිබේ.

Trending

Exit mobile version