Connect with us

පුවත්

ජනපති ‌රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා කිහිපයක් පවත්වයි

Published

on

මේ වන විට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සිටින ශ්‍රී ලංකා ජනපති – රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේදී රාජ්‍යතාන්ත්‍රිකයන් කිහිපදෙනෙකු හා හමුව සාකච්ඡා පවත්වා තිබේ.

ජනපතිවරයා හා බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය අතර හමුවකදී දකුණු ආසියානු කලාපීය රටවල් දෙකක් ලෙස දෙරට අතර සහයෝගීතාව පුළුල් කර ගැනීමේ වැදගත්කම මෙහිදී රාජ්‍ය නායකයෝ දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබේ.

පසුගිය කාලයේ බංග්ලාදේශයෙන් ලබාගත් ණය, මෙතරම් කෙටි කාලයකදී ගෙවා නිම කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි තමා නොසිතූ බව මෙහිදී පැවසූ බංග්ලාදේශ අගමැතිනිය එම ණය ගෙවා නිම කිරීමෙන් පැහැදිළි වන්නේ ශ්‍රී ලංකාව ක්‍රමිකව උදාකරගෙන ඇති ආර්ථික ප්‍රගතිය බවත් එය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමෙන් ශ්‍රී ලංකාවට වඩා යහපත් තත්ත්වයක් උදාකරගත හැකි බවත් පෙන්වා දුන්නාය.

තවද, වික්‍රමසිංහ මහතා හා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර හමුවක්ද ඊයේ පැවැත්වුණි.

IMF වැඩසටහනයේදී ලංකාවේ ප්‍රගතිය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනේ දී ශ්‍රී ලංකාව දැනට අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳ ජනාධිපතිවරයා විසින් මෙහිදී කෙටි පැහැදිළි කිරීමක් සිදු කළ අතර, එය සාර්ථක ලෙස අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම ද අවධාරණය කළේය.

ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ප්‍රයත්නය සඳහා අඛණ්ඩව සහය දක්වන අතරම ඒ සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම ද ලබා දීමට කටයුතු කරන බව සමන්තා පවර් මහත්මිය මෙහිදී ප්‍රකාශ කර සිටියාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනේ දී ශ්‍රී ලංකාව දැනට අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳ ජනාධිපතිවරයා විසින් මෙහිදී කෙටි පැහැදිළි කිරීමක් සිදු කළ අතර, එය සාර්ථක ලෙස අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම ද අවධාරණය කළේය.

දූෂණ විරෝධී නීතිය සම්මත කිරීමෙන් අනතුරුව සිදුවන ක්‍රියාදාමය පිළිබඳ අදහස් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ දූෂණ විරෝධී කොමිෂන් සභාව සඳහා විධිමත්ව පුහුණුව ලැබූ කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කිරිමේ අභියෝගයට මුහුණ දී සිටින බවත්, මෙම තත්ත්වය හමුවේ දූෂණ විරෝධී නීතිය සම්මත කිරීමෙන් අපේක්ෂා කරනු ලබන ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා තවත් වසර දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවත්ය.

කෙසේ නමුත්, දූෂණ විරෝධී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය පූර්ණ වශයෙන් අනුගත කරවා ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙම කටයුතු කඩිනමින් අවසන් කරගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියේ ය.

ශ්‍රී ලංකා – නේපාල සබඳතා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල් මහතා අතර නිල හමුව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමාගාමීව අද (20) නිව්යෝර්ක් නුවරදී සිදු විය.

දෙරට අතර අතීතයේ සිට පවතින දේශපාලනික, ආර්ථික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී නායකයන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර මෙම වසරේ අවසානයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා-නේපාල ඒකාබද්ධ කොමිසමේ සමාරම්භක සැසිය ඒ සඳහා ඉතා වැදගත් පියවරක් වනු ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියේ දී ශක්තිමත්ව ඉදිරියට ගමන් කරනු ඇති බවට මෙහිදී විශ්වාසය පළ කළ නේපාල අග්‍රාමාත්‍යවරයා දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා ශක්තිමත් කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද අදහස් දැක්වීය.

පුවත්

පාසලක් නැතිකමින් රත්නපුර සිට හැටන් යන සිසුන්

Published

on

By

දෙමළ මාධ්‍යයෙන් උසස් පෙළ කරන සිසුන් සඳහා රත්නපුර ප්‍රදේශයේ  සුදුසුකම් සහිත පාසලක් නොමැති වීමෙන් සිසුන්ට හැටන් ප්‍රදේශයේ  පාසල් වලට යාමට සිදුවී ඇතැයි පොදු ජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා විසින් පාර්ලිමේන්තුවේදී පවසන ලදී.

මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, රත්නපුර සහ බලංගොඩ යන නගර දෙකේම දෙමළ මාධ්‍ය සිසුන් මේ හේතුව නිසා දැඩි අසීරුතාවයකට පත්ව තිබෙන බවය.

අවම වශයෙන් රත්නපුර සහ බලංගොඩ දෙමළ මාධ්‍ය පාසල් සඳහා පුරප්පාඩු  ගුරුවරුන් ලබාදිය යුතුව තිබෙන බව හෙතෙම සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේ,  අදාල ගැටලුව සබරගමු පළාත් ආණ්ඩුකාරවරයාට යොමු කර සති දෙකක්  ඇතුලත තොරතුරු ලබාගන්නා බවය.

උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ සිදු කරමින් සිටින අතර ඒ අනුව දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු ඉදිරියේදී පිරවීමට හැකියාව ලැබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම නව පාසලක් අවශ්‍ය නම් ඒ සඳහාද යෝජනා ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් පවසන ලදී.

Continue Reading

පුවත්

රටේ ණය බර අඩුකරන හැටි සබ්රි කියයි

Published

on

By

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ජූනි මාසය වන විට අවසන් කර ගැනීමට රජය අපේක්ෂා කරන බව අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරත් කියා සිටියේ, සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර එක්සත් ජනපද ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකි වනු ඇති බවය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මෙම අදහස් පළකළේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලැබීමත් සමඟ රටේ සංවර්ධන කටයුතු ද ඉදිරියට කරගෙන යා හැකි බවයි අමාත්‍යවරයා විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකාව නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් හා ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගනිමින් සියලු ජාතීන් සමඟ සබඳතා පැවැත්වීම හේතුවෙන් මේ වන විට ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහන රැසක් හිමි වෙමින් තිබෙන බවය.

චීනය මෙන්ම ඉන්දියාව සමඟ සමීප සබඳතා පවත්වමින් මෙරට ආර්ථික සංවර්ධනයට දෙරටේ සහාය ලබා ගැනීමට රජය කටයුතු කර ඇති බවද අලි සබ්රි මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

වැඩදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා,

“ශ්‍රී ලංකාව රටක් ලෙස නොබැඳි විදේශ ප්‍රතිපත්තිය පවත්වාගෙන යමින් සියලු ජාතීන් සමඟ සුහදව ගනුදෙනු කරනවා. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයද ආරක්ෂා කර ගනිමින් සෑම රටක් සමඟ ම ගනුදෙනු කිරීම නිසා විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්ත පහසු වූ බව සඳහන් කළ යුතුයි. චීනය, ජපානය ,ඉන්දියාව හා පැරිස් සමාජය ණය ප්‍රතිව්‍යුගතකරණය සඳහා විශාල සහයක් ලබාදුන්නා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලැබීමත් සමඟ රටේ සංවර්ධන කටයුතුද ඉදිරියට කරගෙන යා හැකියි.

ඒ වගේම චීනය සහ ඉන්දියාව සමඟ සමීප සබඳතා ඇති කර ගැනීමට අපට හැකි වුණා. චීනය සමඟ අවබෝධතා ගිවිසුම් නවයක් මේ වනවිට අත්සන් කර තිබෙනවා. ඉන්දියාවේ ආයෝජකයින් ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් ආයෝජනය කිරීමට පෙළඹී සිටිනවා. විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා ආයෝජනය කිරීමට අදානී සමාගම ඉදිරිපත්ව තිබෙනවා. සෞදි අරාබියද ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම මැදපෙරදිග රටවල් ඉන්ධන මත රැඳී තිබුණු ආර්ථිකයෙන් මිදී අනෙක් රටවල්වල ආයෝජන අවස්ථා ඇති කර ගනිමින් ඔවුන්ගේ රටවල ආර්ථිකය තවදුරටත් සංවර්ධනය කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. එහි වාසිය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට අප කටයුතු කරනවා.

විදේශ කටයුතු අමාත්‍යංශය ජාත්‍යන්තර නීති රීති හා එකඟතාවලට අනුකූලව විදේශ රටවල් සමඟ සබඳතා පවත්වන නිසා ඉරාන ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය පිළිබඳ ජාත්‍යන්තරයට ගැටලුවක් වුණේ නැහැ. ඉරානය ලබා දුන් උමා ඔය ව්‍යාපෘතිය මඟින් මෙගාවොට් 120 විදුලි ධාරිතාවක් ලබන මාසයේ සිට ජාතික විදුලි පද්ධතියට එකතු වෙනවා. ලබන මාසයේ විදුලි බිල සංශෝධනය වන විට එහි ප්‍රතිලාභ ජනතාවට ලැබෙනවා.

ශ්‍රී ලංකාව සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට නම් වීසා ගාස්තු පිළිබඳ අවධානය යොමු නොකළ යුතුයි. රටවල් පනහකට පමණ නොමිලේ වීසා ලබාදීමට අවශ්‍යව තිබෙනවා. එමඟින් සංචාරක කර්මාන්තය තව දුරටත් නගා සිටුවිය හැකියි.

පසුගිය සතියේ ජපාන විදේශ අමාත්‍යවරිය මෙරටට පැමිණියා. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය වෙනුවෙන් ජපානයේ සහාය ලබාදෙන බව ඇය ප්‍රකාශ කළා.ජපානයේ සහාය ඇතිව ආරම්භ කර මේ වන විට නවතා ඇති ව්‍යාපෘති යළි ඇරඹීමටද ජපානය එකඟතාව පළකර තිබෙනවා.

ඒ වගේම මියන්මාරයේ ජාවාරම්කරුන් භාරයේ පසුවන ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීම සඳහා මේ වන විට රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කරමින් තිබෙනවා. තවද රුසියාව- යුක්‍රේන යුද්ධය ආශ්‍රිත කුලී හමුදාවන්ට යවා ඇති අපගේ තරුණ පිරිස් බේරා ගැනීමටද රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. රුසියාවේ ආරක්ෂක අංශ සමඟ ද මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.”

Continue Reading

පුවත්

ඩයනාගේ හිස්වූ අසුනට මුජිබර්

Published

on

By

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාගේ නම යෝජනා කර මැතිවරණ කොමිසමට යැවීමට නියමිත බව වාර්තා වේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ බව පැවසීය.

ඒ අනුව මුජිබර් රහුමාන් මහතාගේ නාමය මැතිවරණ කොමිසමට යැවීමට නියමිත බව සඳහන් වේ.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවට තේරී පත්විය.

පළාත් සභා මැතිවරණයේදී කොළඹ පුරපති සටනට තරග කිරීමේ අපේක්ෂාවෙන් ඒ මහතා විසින් පසුගිය 2023 වසරේ ජනවාරි මසදී සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගන්නා ලද නමුත් පළාත් සභා මැතිවරණය මේ දක්වා පැවැත්වීමක් ද සිදු වූයේ නැත.

සබැඳි පුවත්:

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved