Connect with us

පුවත්

“ජාජබ රජයක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරනවා”

Published

on

ජාතික ජන බලවේග රජයක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරන බව එම පක්ෂයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ මහත්මිය පවසයි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇය පෙන්වා දෙන්නේ වර්තමානයේ පවතින ක්‍රමය තුළ ගණිකාවන් නිර්මාණය කරමින් ඇති බවයි. 

ගණිකා වෘත්තිය සඳහා රීති පද්ධතියක් ඇති කළ යුතු බව ද ඇය සඳහන් කරන්නීය.

මෙය කැමැති වුණත් අකමැති වුණත් සංස්කෘතිය තුළ පවතින දෙයක් බව සඳහන් කරන සමන්මලී ගුණසිංහ මහත්මිය යම් නීති රාමුවක් තිබෙනවා නම් ඇයට ආරක්ෂාවක් තිබෙන බව ද සඳහන් කළාය.

”මේ වන විට කාන්තාවන්ට පවුල තුළ ලොකු ආර්ථික පීඩනයක් තිබෙනවා. මේ ආර්ථික ප්‍රශ්න නිසා ගැහැනිය අනාරක්ෂිත වෙලා. ගැහැනිය එළියට, ස්පා එකට යන්න සිද්ධ වෙලා තිබෙනවා. ස්පා එක හොඳයි. හැබැයි අපේ ස්පා එක බවට පත්වෙලා තියෙන්නෙ වෙන කාර්යයක්. ගණිකා වෘත්තියට යම් නීති පද්ධතියක් අවශ්‍යයි. හැබැයි මෙය අප ප්‍රමෝට් කරන්නෙ නැහැ. වෙනත් වෘත්තියක් ඇයට දෙනවා නම් ගරුත්වයෙන් වැඩ කරන්න පුළුවන් රැකියාවක් දෙනවා නම් ඇගේ ශ්‍රමය අමානුෂික ලෙස සූරා නොකන රස්සාවක් අපට දෙන්න පුළුවන් නම් ලිංගික ශ්‍රමිකයා කියන වෘත්තිය නැති කරන්න පුළුවන්. ජාතික ජන බලවේගයට ඒ සඳහා වැඩපිළිවෙළක් තිබෙනවා. ගණිකා වෘත්තිය නීතිගත කිරීම පිළිගන්නවා” යයිද ඇය පවසන්නීය.

කාන්තාවන් සහ දරුවන් මේ වන විට සමාජය තුළ බරපතළ අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බව පෙන්වා දෙන ගුණසිංහ මහත්මිය ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ජාතික ජන බලවේගය සතුව ඇති බව ද සඳහන් කළාය.

(දිනමිණ)

පුවත්

ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීම්

Published

on

By

කල්පිටිය සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළ ට ඔබ්බෙන් වන මුහුදු තීරයේ සුළඟේ වේගය විටින් විට පැයට කිමී 60-70 දක්වා වැඩිවන බවත් මුහුද රළු වන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම මුහුදු ප්‍රදේශවල විටින් තද වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ දැක්වෙයි.

ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

Continue Reading

පුවත්

ෂොපින් බෑග් සඳහා මිලක් ?

Published

on

By

වෙළඳසැල්වලින් නිකුත් කරන ෂොපින් බෑග් සඳහා මිලක් නියම කිරීම පිළිබඳ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු වී තිබේ.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡා විය.

මෙම රැස්වීම සඳහා පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය සහ පාරිභෝගික කටයුතු අධිකාරිය නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 10(1)බී වගන්තිය යටතේ 2008 ඔක්තෝබර් මස 17 දිනැතිව පරිභෝගික අධිකාරිය විසින් නිකුත් කරන ලද විධාන අංක 26 මඟින් පනවා ඇති පරිදි “කිසියම් වෙළෙන්දකු විසින් භාණ්ඩ විකුණන අවස්ථාවේදී නිකුත් කරනු ලබන කුමන වර්ගයේ හෝ බහාලුම් මළු, එතුම් සඳහා පාරිභෝගිකයන්ගෙන් කෙළින්ම හෝ අන්‍ය ආකාරයකින් කිසිදු මුදලක් අයකර ගැනීම නොකළ යුතු බවට” නියම කර නිකුත් කර තිබු ගැසට් නිවේදන බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2024 මාර්තු මස 28 දිනැතිව ලබා දුන් තීන්දුවෙහි පිටපතක් ලැබෙන තෙක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කිරීමට නොහැකි වී ඇති බව මෙහිදී අනාවරණය විය.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මාධ්‍ය මඟින් ප්‍රකාශ පත් කළ ද මෙහි බලපෑම සමාජයට දැනීමට යම් කාල සීමාවක් ගතවන බැවින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු නිසි ක්‍රියාමාර්ග ගැනීමට මධ්‍යම පරිසර අධිකාරියේ සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්ගේ පෙර සුදානම පිළිබඳව විමසීම සඳහා මෙදින රැස්වීම කැඳවා තිබුණි.

ලබා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පරිදි ෂොපින් බෑග්වලින් මුදල් අයකර ගැනීම නිෂ්පාදකයාගෙන් අයකර ගන්නේද නැතහොත් පාරිභෝගිකයාගෙන් අයකර ගන්නේද යන්න පිළිබඳව ගැටළුවක් පවතින බව කාරක සභාවේදී ප්‍රකාශ විය.

ලෝකයේ වෙනත් රටවල වෙළඳසැල් මඟින් නිකුත් කරනු ලබන ද්විතීක ඇසුරුම් සඳහා පමණක් පාරිභෝගිකයාගෙන් මුදල් අයකරන බවත් නිෂ්පාදකයාගෙන් ඇසුරුම් සඳහා මුදල් අයකර ගතහොත් ප්‍රාථමික ඇසුරුම් සඳහා ද මුදලක් ගෙවීමට පාරිභෝගිකයාට සිදු වන බවත් මෙහිදී කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.

එබැවින් නිෂ්පාදකයා මත අධිභාරයක් පැනවීම අවශ්‍ය නොවන බවත් පෙර වෙළඳසැල් මඟින් නොමිලේ ලබා දුන් ෂොපින් බෑග් මත යම් මුදලක් අය කිරීමෙන් පාරිභෝගිකයා ෂොපින් බෑග් මිලදී ගෙන භාවිතා කිරීමෙන් වැලකී භාණ්ඩ මිලදී ගැනීමට තම නිවසින් බෑගයක් ගෙන යාමේ පුරුද්දක් ඇති කිරීම මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ලබා දී ඇති තීන්දුව ඔස්සේ ඇති කළ යුතු සමාජ බලපෑම බවත් කාරක සභාවේ සභාපති  අජිත් මාන්නප්පෙරුම මහතා අවධාරණය කලේය.

කාරක සභාව වැඩි දුරටත් සඳහන් කළේ ලෝකයේ වෙනත් රටවල් පාරිභෝගිකයාට නිකුත් කරනු ලබන ද්විතික ඇසුරුම් මත අයකරනු ලබන මුදල් පරිසරය ආරක්ෂා කිරීමේ රජයේ අරමුදලකට බැර කරන බවත්, සුපිරි වෙළඳසැල් පමණක් එම අරමුදලේ ලියාපදිංචි කර ඇති අතර කුඩා පරිමාණයේ වෙළඳසැල් සඳහා එය අදාළ නොවන බවත්ය.

තවද ලෝකයේ මෙම ක්‍රමවේදය අනුගමනය කරනුයේ පාරිභෝගිකයාගේ මනසට පණිවිඩයක් දීමට බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ඵලදායී ලෙස මෙරට තුළ ක්‍රියාත්මක කිරීමෙන් සමාජය තුළ ෂොපින් බෑග් භාවිතය සම්බන්ධයෙන් ආකල්පමය වෙනසක් ඇති කළ හැකි බවත් කාරක සභාවේ අදහස විය.

මේ අවස්ථාව සඳහා කාරක සභා සාමාජිකයින් වන ජයන්ත සමරවීර සහ (වෛද්‍ය) තිලක් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් ද සහභාගී වූහ.

Continue Reading

පුවත්

හිටපු ඇමැති රිෂාඩ් නිදහස්

Published

on

By

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ට අයත් කොළඹ ප්‍රදේශයේ පිහිටි නිවසක මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කාර දැරියක මීට වසර 3කට පෙර පිළිස්සී මියයෑමේ සිද්ධියට අදාළව රිෂාඩ් බදියුදීන්ගේ බිරිය, මාමණ්ඩිය හා දැරිය මෙහෙකාර සේවයට යෙදවූ පුද්ගලයාට එරෙහිව නඩු පවරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කලේය.

මෙම සිද්ධියේ පළමු විත්තිකරු වන දැරිය මෙහෙකාර සේවය සඳහා ලබා දුන් බව කියන පොන්නයියා පණ්ඩාරම්, දෙවන විත්තිකරු වන රිෂාඩ් බදියුදීන්ගේ මාමණ්ඩිය බව කියන අලි ඉබ්‍රාහිම් කිදර් මොහොමඩ්, හා තෙවැනි සැකකාරිය වන රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ වන කිදර් මොහොමඩ් ශිහාබ්දීන් අයීෂා යන තිදෙනාට එරෙහිව එසේ නඩු පවරන ලෙස අධිකරණයෙන් නියම විය.

කෲරත්වයට පත් කරමින් මෙහෙකාර සේවයේ යෙදවීම, තැනැත්තන් වෙළෙඳාම ඇතුළු චෝදනා කීපයක් යටතේ කොළඹ දකුණ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මගින් මෙම තිදෙනාට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

මෙම සිද්ධියේ සිව්වන සැකකරු වන රිෂාඩ් බදියුදීන් හා පස්වන සැකකරු වන බදියුදීන් අබ්දුල් රිෂාඩ් යන සැකකරුවන් දෙදෙනාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔවුන් නිදහස් කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී.

ඩයගම ප්‍රදේශයේ පදිංචිව සිටි හිෂාලිනී ජූඩ් කුමාර් නමැති බාල වයස්කාර දැරියක සිරුරට ගිනි ඇවිළීමෙන් එසේ මියගොස් ඇති බවද අධිකරණයෙන් හෙළිවිය.

ඉහත සඳහන් පළමු වන සැකකරු වන පොන්නයියා පණ්ඩාරම් නමැත්තා එම දැරිය මෙහෙකාර සේවයේ යෙදවීම සඳහා කොළඹ බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේ පිහිටි රිෂාඩ් බදියුදීන්ගේ නිවසට භාරදී ඇති බවත් ඒ වන විට එම දැරිය 15 හැවිරිදි වියේ පසුව ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනය සිදුකළ බොරැල්ල පොලිසිය අධිකරණයට වාර්තා කර තිබුණි.

වසර කීපයක් එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි ඇයගේ සිරුරට 2021 ජූලි මස 3 වැනිදා ගිනි ඇවිළී ඇති බවත් පසුව ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව 15 දා මියගොස් ඇති බවත් පොලිසිය අධිකරණයට දැක්වූ වාර්තාවේ සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය මූලික විමර්ශන සිදු කළ අතර පසුව කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය හා කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශය එම විමර්ශන ඔවුන් භාරයට ගැනීම සිදුවිය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved