පුවත්

ටෙක්සාස් හි ගංවතුරෙන් ළමයි 15ක් ඇතුළු 43ක් ජීවිතක්ෂයට

Published

on

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් ළමුන් 15 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 43 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

පැවති වර්ෂාපතනයත් සමග ඉකුත් සිකුරාදා අලුයම ග්වාඩලූප් ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙම හදිසි ගංවතුර තත්ත්වය ඇති වූ අතර දිවි ගලවා ගත් පුද්ගලයින් සොයා දැඩි සෝදිසි මෙහෙයුම් සිදුවෙමින් පවතින බව පැවසේ.

අතුරුදන්වූවන් සොයා හෙලිකොප්ටර් යානා 14ක්, ඩ්‍රෝන යානා 12ක්, ගලවා ගැනීමේ බෝට්ටු සහ ගලවා ගැනීමේ කණ්ඩායම් නවයක් සමඟ සහන සේවකයින් 500කට වැඩි පිරිසක් ද යොදවා ඇති අතර මේ වන විට පුද්ගලයින් 850ක් පමණ බේරාගෙන ඇති බව වාර්තා වේ.

ගලවා ගැනීමේ මෙහෙයුම්වලදී වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ටෙක්සාස්හි ග්වාඩලූප් ගං ඉවුරේ පිහිටා තිබූ කඳවුරක් වන අතර, එහි සිටි වයස අවුරුදු 12ට අඩු ගැහැණු ළමයින් ඇතුළුව 27 දෙනෙකු අතුරුදන් වී ඇත.

මේ අතර ඇතිවූ හදිසි අවස්ථාවට ප්‍රතිචාර දැක්වීම සඳහා තම පරිපාලනය, පළාත් පාලන ආයතන සමඟ සමීපව කටයුතු කරන බවත්, ඕනෑම ආධාරයක් ලබා දීමට සුදානම් බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

ගංවතුර තත්ත්වය හේතුවෙන් ටෙක්සාස් ප්‍රාන්තයේ විදුලියද ඇනහිට ඇති අතර මේ හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා බාධා මතුව ඇති බවද විදෙස් මාධ්‍යවල දැක්වේ.

ජාතික කාලගුණ සේවය පැවසුවේ ජලගැලීමෙන් තවමත් පීඩාවට පත් ඇතැම් ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් ලැබිය හැකි බවත් ඒ හේතුවෙන් මධ්‍යම ටෙක්සාස්හි ගංවතුර තත්ත්වය තවත් ඉහළ යා හැකි බවයි.

හදිසි ගංවතුර හේතුවෙන් කඳුකර රට සහ කොන්චෝ නිම්න ප්‍රදේශ සඳහා ද ආපදා අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙන බවද පැවසේ.

Trending

Exit mobile version