Connect with us

පුවත්

“තුයියකොන්ත බ්ලැක් ලිස්ට් කිරීම අනීතිකයි”

Published

on

විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත මහතා බ්ලැක් ලිස්ට් කිරීම අනීතික ක්‍රියාවක් බව ජාතික ජන බලවේගය කියා සිටී.

බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (22) පෙරවරුවේ පැවති ජාතික ජන බලවේගය මේ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

එහිදී ජාතික ජන බලවේගයේ නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා කියා සිටියේ තුයියකොන්ත මහතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අසාදු ලේඛන ගතකර ඇත්තේ නීත්‍යානුකූල ලියවිල්ලක් ලබාදීමකින් තොරව, කැලෑ පත්තරයකින්, වලංගු නැති ලේඛනයකින් බවයි.

ඔහු එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

“සියලුම රජයේ නිලධාරීන්ට අපි ප්‍රකාශ කර සිටිනවා, ඔබලාද නීතියට යටත්. තමන්ව පාලනය කරන දේශපාලනඥයා සන්තෝස කිරීමට නියෝග, තීන්දු ගන්න ඔබලාට බැහැ. ඒ වගේම රජයේ නිලධාරියෙක් වුවත් අනීතික නියෝග ක්‍රියාත්මක කළොත් ඔහු දඬුවම් විඳිය යුතුමයි. ඔබට තරු කීයක් තිබුණත්, පටි කීයක් ඔබගේ යුනිෆෝම් එකේ තිබුණත් ඔබත් මේ රටේ නීතියට යටත්. යම් හෙයකින් ඔබගේ තනතුර දේශපාලකයන් පිනවීම සඳහා ඔබ භාවිතා කරනවා නම්, එය නීතිමය වරදක්.”

“මෑතක ජාතික ජන බලවේගය විසින් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයක් හදන්නට තීන්දු කළා. කිසිදු පක්ෂයකට මෙතෙක් කළ නොහැකි කාර්යයක් මෙවන් හමුදා සාමූහිකයක් ගොඩනඟන එක. මෙය බලවේගයක් ලෙස දිස්ත්‍රික්ක පුරා ගොඩනැගෙමින් තිබෙනවා. මෙයට නායකත්වය සපයන කෙනෙක් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා. ඔහු යහපත් කීර්තිමත් ඉතිහාසයක් ඇති ‘වික්‍රමවීර,’ ‘විභූෂණ’ සම්මානයට පාත්‍ර වුණු මුළු යුද කාලය පුරාම ෆයිටර් පයිලට් කෙනෙක් ලෙස තම ජීවිතය පරදුවට තබා, සතුරාගේ උණ්ඩයන්ට මුහුණ දෙමින් අප ජීවත් වෙන රට අපට අත්පත් කර දුන් අයගෙන් කෙනෙක්. ඔහු කළ කැපවීම් සියල්ල වෙනුවෙන් ඉහළම තනතුරක් වන එයාර් වයිස් මාෂල් තනතුරක් ලබා සියලුම ගරු සම්මාන බුහුමන් මැද්දේ විශ්‍රාම ලබාගත්තා. සතුරාගෙන් බේරාගත් රට නැවත විනාශයට ළඟා වෙනවා දුටු ඔහු රට බේරාගැනීමේ වුවමනාවෙන් විශ්‍රාමික හමුදා සාමූහිකත්වයට දායකත්වය සපයනවා. ඒ ඔහුගේ නිදහස.”

“මේ රටේ සෑම පුද්ගලයෙක්ම නීතියේ විධානයේ ආධිපත්‍යයට යටයි. යමෙකුට දඬුවම් පමුණුවනවා නම් එයට පාදක වූ චෝදනාව කුමද්ද? කරන ලද විමසීම් මොනවාද? සම්පත් තුයියකොන්ත මහතා කැඳවා, හේතු දැක්වීමට අවස්ථාවක් ලබාදුන්නාද? චෝදනාව කුමක්ද කියාවත් ඒ මහතාට දැනුමක් නැහැ. මෙවන් ලිපියක් ඉදිරිපත් කිරීමේදී ඉහළම නිලධාරියෙක් වුවත් එහි සඳහන් කළ යුතුයි “මට ලැබී ඇති අධිකාරී බලය යටතේ, අසවල් වරදට, අසවල් වගන්ති යටතේ ක්‍රියාකරමින් ඔබව බ්ලැක් ලිස්ට් කරමි” කියලා. ඒ ආකාරයෙනුයි නීත්‍යානුකූල ලියවිල්ලක් ඉදිරිපත් කළ යුත්තේ. මේ මහතාව බ්ලැක් ලිස්ට් කර තිබෙන්නේ කැලෑ පත්තරයකින්. වලංගු නැති ලේඛනයකින්.”

“තුයියකොන්ත බ්ලැක් ලිස්ට් කළේ අභ්‍යන්තර පරිපාලනය පවත්වාගෙන යන්න”

මේ අතර, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්ත මහතා අසාදු ලේඛනගත කිරීමට ගුවන් හමුදාව විසින් ගෙන ඇති තීරණය අභ්‍යන්තර පරිපාලනය පවත්වාගෙන යාමේ අරමුණින් ගත් එකක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්ෂ (මාධ්‍ය) ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා කියයි.

ඔහු වැඩිදුරටත් මෙසේද මාධ්‍යට පවසා ඇත.

“ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඕනෑම විශ්‍රාමික නිලධාරියෙකුට ක්‍රියාකාරී දේශපාලනයේ නිරත විය හැකියි. නමුත්, මේ කාරණය සම්බන්ධයෙන් තත්ත්වය බෙහෙවින් වෙනස්. මෙම නිලධාරියා ගුවන් හමුදාව ලබා දෙන සියලුම පහසුකම් භුක්ති විඳිනවා. මෙම වරප්‍රසාද පහසු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුට ඕනෑම ගුවන් හමුදා කඳවුරකට ඇතුළු විය හැකියි. ඒ නිසා මේ නිලධාරියා කඳවුරුවලට ඇතුළු වූ පසු අපේ සේවයේ නියුතු සාමාජිකයින්ට බලපෑම් කිරීමට උත්සාහ කළහොත් එය ගුවන් හමුදාවේ අභ්‍යන්තර පරිපාලනයේ ගැටලුවක් ඇති කරනවා.”

පුවත්

මෙරට අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනයකට චීනයෙන් සහය

Published

on

By

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයක් බවට පත්කිරීමේ යෝජනාවක් අනුව ආධාර ලබාදීමට චීන රජය එකඟත්වය පළ කර තිබේ.

මේ වනවිට එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව ශක්‍යතා අධ්‍යයනයක් ද  සිදුකර ඇත.

යෝජිත ව්‍යාපෘතිය මඟින් පාසල් සඳහා සම්ප්‍රේෂණ සුහුරු පුවරු සහිත පන්ති කාමර (Delivering Classroom), ප්‍රතිග්‍රාහක සුහුරු පුවරු සහිත පන්ති කාමර (Receiving Classroom) සහ එම කටයුතු මෙහෙයවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ජාල මෙහෙයුම් ඒකකයක් (Data Center), චිත්‍රාගාරයක් (Studio Room), සම්ප්‍රේෂණ කාමරයක් (Conference Room) ලබා දීමට අපේක්ෂිතය.

එම උපාංග මඟින් මිශ්‍ර ඉගෙනුම් ක්‍රමවේදය විධිමත්ව සිදුකිරීම, සම්පත් බෙදාගැනීම, විශේෂ කුසලතා ඇති ගුරුවරුන්ගේ දැනුම අවශ්‍ය අවස්ථාවන්හිදී සිසුන්ට ලබාදීම, ගුරුවරු හිඟ අවස්ථාවන්හිදී ප්‍රතිසංස්කරණ සඳහා පහසුකම් සැලසීම යන කාර්යයන් ඵලදායීව හා කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා සහය ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

අදාල ශක්‍යතා අධ්‍යයන වාර්තාව මත පදනම්ව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ.

Continue Reading

පුවත්

සෞඛ්‍ය වෘත්තීය සමිති නැවතත් වර්ජනයක්

Published

on

By

සෞඛ්‍ය වෘත්තීය සමිති මැයි මස 09 වෙනිදා සිට අඛණ්ඩ වර්ජනයකට යොමුවීමට තීරණය කර තිබේ.

ආර්ථික යුක්තිය ඉටුනොවීමට අදාළව වෘත්තීය සමිති 72කින් යුත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මීට මාස 4කට පෙර ද මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹුණි.

පසුව එය අප්‍රේල් මාසය තෙක් තාවකාලිකව නවතා දැමීම සිදුවූයේ සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කළ තාක්ෂණික වාර්තාවට අනුව දීමාන ලබාදෙන බවට වූ ලිඛිත පොරොන්දුව මතය.

මෙතෙක් එම පොරොන්දුව නිසි ලෙස ඉටුනොවුන බව දන්වමින් නැවතත් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ, සම කැඳවුම්කරු, චානක ධර්මවික්‍රම මහතා ප්‍රකාශ කරයි.

රෝගීන්ට සිදුවන බලපෑම සලකා දීපව්‍යාප්ත වර්ජන ක්‍රියාමාර්ග ආරම්භ කිරීම වෙනුවට 09 වෙනිදා සිට පළාත් වශයෙන් සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල රාජකාරියෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන රෝහල් පිළිබඳ විස්තර පහතින් දැක්වේ.

  • මැයි 09 – උතුරු මැද පළාත
  • මැයි 13 – මධ්‍යම පළාත
  • මැයි 14 – සබරගමුව  පළාත
  • මැයි 15 – වයඹ පළාත
  • මැයි 16 – දකුණු පළාත
  • මැයි 20 – ඌව පළාත
  • මැයි 21 – බස්නාහිර පළාත

යනාදී වශයෙන් මෙම වර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වනු ඇත

Continue Reading

පුවත්

ලිට්‍රෝ ගෑස් සැපයුම ඉහළ නැංවීමට පියවරක්

Published

on

By

ලිට්‍රෝ ගෑස් ආයතනයේ මාබිම ප්‍රදේශයේ ඉදිකර ඇති ගෑස් පිරවුම් පර්යන්තය හෙට (08) දවසේ විවෘත කිරීමට නියමිතය.

රුපියල් බිලියනයක් ආයෝජනය කරමින් ඉදිකර ඇති මෙම නව පර්යන්තය තුළින් දිනකට සිලින්ඩර් හැටදහසක් බෙදාහැරීමේ හැකියාව පවතින බව ලිට්‍රෝ ආයතනය පවසයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසූයේ,

“නව පිරවුම් පර්යන්තයක් හෙට විවෘත කරනවා. ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට. කෙරවලපිටිය පර්යන්තය ප්‍රමාණවත් නැහැ. දිනකට සිලින්ඩර් 60,000ක් නිකුත් කරනවා. දෙසැම්බර් සිට සතියට දවස් 2ක්. පෙබරවාරි, මාර්තු, අප්‍රේල් වනවිට කෙරවලපිටිය හා මාබිම පර්යන්ත දෙකම වැඩ. කෙරලවලපිටිය නවත්වන්න ඕන වුණොත්. මාබිම සිට කාර්යක්ෂවම ගෑස් බෙදාහරින්න පුළුවන්.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved