පුවත්

තේ කොළ පැකට් 2ක් ඉස්සූ PC රිමාන්ඩ් කරයි 

Published

on

වේරහැර ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලකට පිවිස තේ කොළ පැකට් දෙකක් සොරකම් කර හසුවූ පොලිස් කොස්තාපල්වරයෙකු වෙළෙඳසලේ සේවකයන් විසින් අල්ලාගෙන බොරලැස්ගමුව පොලිසිය වෙත අද (15) බාර දී තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝදර පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.

මෙම පොලිස් කොස්තාපල්වරයා කල්පැන ගිය රියැදුරු බලපත්‍රය අලුත් කරගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයට ඊයේ (14) පැමිණ ඇත.

එම කාර්යාලයෙන් රියැදුරු බලපත්‍රය අලුත් කරගත් මෙම පොලිස් කොස්තාපල්වරයා ඒ අසල සුපිරි වෙළඳ සංකීර්ණයකට ගොස් භාණ්ඩ තෝරා ඇති අතර පසුව තේ කොළ පැකට් දෙකක් මොහු විසින් සොරාගෙන සිටියදී එහි ආරක්ෂක නිලධාරීන්ට හසුවී ඇත. එම තේ කොළ පැකට් දෙකෙහි වටිනාකම රුපියල් දෙදහස් දෙසීය හතළිහකි.

සිවිල් ඇඳුමෙන් සැරසී සිටි මොහු ආරක්ෂක නිලධාරීන් හා අයකැමි තරුණියන් විසින් අල්ලාගෙන බොරලැස්ගමුව පොලිසියට භාරදීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාර පොලිස් කොස්තාපල්වරයා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම පොලිස් කොස්තාපල්වරයා විසින් කරන ලද විනය විරෝධී ක්‍රියාකලාපය මත මොහුගේ වැඩ තහනම් කිරීමට කොළඹ උතුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අබේපිටිය පියවර ගෙන ඇත.

Trending

Exit mobile version