පුවත්

නාමල්ගේ තාරුණ්‍යට හෙටක් සංවිධානයෙන් ලංවිමට ලොකු ප‌ොල්ලක්

Published

on

වසර 2014 දී තාරුණ්‍යට හෙටක් පදනම සංවිධානය කළ හම්බන්තොට පොසොන් කලාපයට ලංවිමෙන් ලබාගත් ජෙනරේටර් 2ක් සඳහා ගෙවිය යුතු රුපියල් 1,112,889.14 ක මුදලක් මේවන තෙක් ගෙවා නැති බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා කියා සිටී.

එම උත්සවය හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් සංවිධානය කරන ලද්දක් බවද පැවසේ.

එම පොසොන් කලාපයට ලබාදුන් ජනරේටර් දෙකට අදාළව WAS/PP/TCN/01 හා 2014-05-29 දිනැතිව රුපියල් 1,522,889.14 ක් වටිනා ඇස්තමේන්තුවට අනුව තාරුණ්‍යට හෙටක් සංවිධානය විසින් රුපියප් 400,000/- ක් ලංවිම වෙත අත්තිකාරම් මුදලක් ලෙස ගෙවා තිබේ.

ඉතිරි හිඟ මුදල වන රුපියල් 1,112,889.14 ක මුදල ගෙවන ලෙස 2019-03-25 ලංවිම විසින් ලිපියකින් දැනුම්දී තිබේ.

අදාළ පොසොන් කලාපයට ලංවිමෙන් 380KVA ජෙනරේටර් 2ක්, 350KVA ජනරේටරයක්, 300KA ජනරේටර් 2ක් හා 250KVA ජනරේටර් 2ක් කුලී පදනම මත ලබාදී තිබේ.

මේ සදහා තාරුණ්‍යට හෙටක් පදනම මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ලංවිම නීති නිලධාරියා විසින් 2018-05-31 වැනිදා එන්තරවාසියක්ද යොමුකර ඇති බව හෙළිව ඇත.

එම එන්තරවාසිය මගින් අදාල මුදල දින 14කට පෙර නොගෙවුවහොත් නඩු පවරන බවද නීති නිලධාරියා දන්වා තිබේ.

කෙසේවුවද, රන්ජන් ජයලාල් මහතා පෙන්වාදෙන්නේ අදාළ මුදල මෙතෙක් නාමල් රාජපක්ෂ මහතාගේ අදාළ සංවිධානය ගෙවා නොමැති බවයි.

මූලාශ්‍රය – මව්බිම

Trending

Exit mobile version