පුවත්

පාස්කු ප්‍රහාරයෙන් පසු සොයාගත් කඩු 1000ක් මුහුදු පතුලට

Published

on

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ආරක්ෂක අංශ විසින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිදු කරන ලද වැටලීම්වලදී සොයා ගත් කඩු 1000කට අධික ප්‍රමාණයක් ඇතුළු රාජසන්තක කළ නඩු භාණ්ඩ රැසක් අධිකරණ නියෝග පරිදි ගැඹුරු මුහුදේ ගිල්වා තිබේ.

රංගල නාවික හමුදා කඳවුරේ සිට මුහුදු සැතපුම් 17ක් දුරින් අඩි 1000ක් ගැඹුරු මුහුදේ එලෙස ගිල්වන ලද රාජසන්තක කළ නඩු භාණ්ඩ අතර උල් ආයුධ, බෝම්බ කොටස්, තුවක්කු 08ක්, ගල් කටස් වර්ගයේ තුවක්කු 10ක් ඇතුළු භාණ්ඩ රැසක්ද වෙයි.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්ගේ නියෝග පරිදි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ සියල්ල භාරයේ තිබූ කඩු කිනිසි ඇතුළු භාණ්ඩ ගැඹුරු මුහුදේ ගිල්වන අවස්ථාවට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසිංහ, අධිකරණයේ රෙජිස්ටාර්, නඩු භාණ්ඩ කාමරයේ භාරකරු ඇතුළු අධිකරණ කාර්යය මණ්ඩලයේ පිරිසක්ද එක්වී සිටියහ.

අදාළ නඩු භාණ්ඩ සුරක්ෂිතව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ සිට රංගල නාවික හමුදා කඳවුර වෙත පෙරේදා (20 වැනිදා) ගෙන ඒමෙන් අනතුරුව නාවික හමුදාවේ ‘‘සුරනිමල’’ නෞකාවෙන් ඒවා මුහුදු සැතපුම් 17ක් දුරට රැගෙන ගොස් අඩි 1000ක් ගැඹුරු මුහුදේ ගිල්වා තිබේ.

මෙලෙස ගැඹුරු මුහුදේ ගිල්වන ලද භාණ්ඩ සියල්ල රාජසන්තක කරන ලද භාණ්ඩ වන අතර කඩු ඇතුළු ඇතැම් භාණ්ඩ වසර 04ක් පමණ අධිකරණයන්හි නඩු භාණ්ඩ කාමරවල රඳවා තිබිණි.

(අරුණ)

Trending

Exit mobile version