පුවත්

මියන්මාර සයිබර් කඳවුරුවල සිරවුණු දරුවන් ගැන මව්පියන්ගෙන් අනාවරණයක්

Published

on

මියන්මාර තායිලන්ත දේශ සීමා අතර ‘මයාවඩි’ සයිබර් අපරාධ කලාපයේ සිරකර සිටි සිය දරුවන් බේරා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 5 බැගින් කප්පමක් ගෙවීමට මවුපියන්ට සිදුව ඇති බවට පුවතක් ‘මව්බිම’ වාර්තා කරයි.

එම ගැටලුවෙන් වින්දිතයෙකු බවට පත්ව ඇති ලාංකිකයකුගේ පියෙක් ‘මව්බිම’ට පවසා ඇත්තේ මියන්මාරයේ පදිංචි ලාංකික භික්ෂුවක් හරහා අපරාධකරුවන්ට මෙම මුදල් ගෙවූ බවය.

ඒ අනුව දරුවන් 27 දෙනකු වෙනුවෙන් ලක්ෂ 5 බැගින් මුදලක් මුද්දරයක් පිට අස්සන් කර අදාළ භික්ෂුවට දුන් බව එම පියා පවසා තිබේ.

තවත් 5 දෙනකු වෙනුවෙන් එසේ මුදල් ගෙවීමට ඔවුන්ගේ මවුපියන් සූදානමින් සිටින බවද ඔහු සඳහන් කර තිබුණි.

බේරාගත් ලාංකිකයන් 32 අතරින් 5 දෙනකු අද (06) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් ඉතිරි පිරිස ලබන 16 වැනිදා මෙරටට පැමිණීමට නියමිත බවත් ඔහු පවසා තිබුණි.

එමෙන්ම, මියන්මාර සයිබර් අපරාධ කලාපයේ සිර වී සිටින සිලුම ලාංකිකයන් බේරී නැති බවත් තවත් 13ක් සයිබර් අපරාධ කඳවුරුවල සිටින බවත් ,බේරී ආ ලාංකිකයන් අතරින් තවත් 5 දෙනකු තායිලන්තයේ පොලිස් භාරයේ සිටින බවත් වින්දිතයෙකු බවට පත්ව ඇති ලාංකිකයකුගේ පියා සඳහන් කර තිබේ.

ඔහු  තවදුරටත් පවසා ඇත්තේ තමන් කැමැත්තෙන් සයිබර් කඳවුරට ගිය බවට තායිලන්තයේ ගුවන්තොටුපළ බලධාරීන් සමඟ පවසා සිටීම එම පස්දෙනා පොලිස් භාරයට ගැනීමට හේතුව බවය.

එහෙත් එම පිරිසට තායි උසාවියෙන් පනවන දඩ මුදලක් ගෙවීමෙන් පසුව නිදහස් වීමට හැකිවනු ඇති බවද ඔහු පවසා තිබේ.

මියන්මාරයේ මිනිස් ජාවාරමට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයන් තිස්දෙදෙනකු පසුගිය නොවැම්බර් 25 බේරාගත් බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කලේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ මෙම බේරාගත් ලාංකික පිරිස අතරට කාන්තාවන් 8 දෙනකු සහ පිරිමි පුද්ගලයන් 24 දෙනකු ඇතුළත් බවය.

කෙසේවෙතත්, මිනිස් ජාවාරමට ගොදුරු වී මියන්මාරයේ අතරමං වූ මෙම ශ්‍රී ලාංකිකයන් තිස්දෙදෙනා බේරාගත්තේ මියන්මාර සහ ශ්‍රී ලංකා බලධාරීන් සම්බන්ධීකරණ මෙහෙයුමක් මඟින් බව විදේශ කටයුතු අමාත්‍යාංශය එම නිවේදනය ඔස්සේ පෙන්වා දුන්නේය.

Trending

Exit mobile version