පුවත්

මෙරට සූකර වෛරසය රුසියානු එකට සමානයි; උණ නිසා ඌරන් හැටහත්දාහක් මිය ගිහින්

Published

on

සූකර වයිරසයෙන් මියගිය මෙරට ඌරන්ගේ සාම්පල කීපයක් ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානය පාලනය යටතේ ඇති කැනඩාවේ විද්‍යාගාරයකට යවා කරන ලද පරීක්ෂණයකදී අනාවරණය වූයේ සාම්පලවලින් සියයට 60 කට වැඩි ප්‍රමාණයක් රුසියානු කලාපයේ පැතිරුණු වයිරසයට සමාන බව යැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය කියයි.

සූකර උණ රෝගයෙන් පසුබෑමට ලක්වූ සූකර කර්මාන්තයේ ඉදිරි සැලසුම් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවේදී අධ්‍යක්ෂ ජනරාල්වරිය මේ බව කියා සිටියාය.

මෙරට සූකර ගොවිපොළ 2,500 ක පමණ මෙම අප්‍රිකානු සූකර වයිරසය ව්‍යාප්තවීම නිසා මෙරට ගොවිපොළවල සිටි ඌරන් 67,000 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇතැයි අනාවරණයවී ඇත.

මෙරටට සත්වයකු හෝ මාංශයක් ගෙන එන්නේ නම් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පූර්ණ නිෂ්කාශන බලපත්‍රයක් ලබාගත යුතු බවත්, එලෙස බලපත්‍රයක් රහිතව ගෙන්වූ අවස්ථාද රේගුවේදී වාර්තා වන බවද ඇය පැවසුවාය.

එමෙන්ම, මෙරටට එන ගුවන් යානා සහ වරායට එන නැව්වල ඉඳුල් කොටස් බැහැර කරනු ලබන්නේ අදාළ රටට බවත්,මෙම ඉඳුල් සූකර ගොවිපොළවලට රැගෙන යන බවත්, එම ඉඳුල් නිරෝධායනයට ලක් නොවන බවද ඇය කීවාය. මේ නිසා සූකර උණ සහිත රටක ඉඳුල් ඔස්සේද මෙම රෝගය ව්‍යාප්ත වියහැකි බවද ඇය පැවසුවාය.

මෙම ඉඳුල් අධික උෂ්ණත්වයකින් රත් කිරීමේදී අදාළ වයිරසය මියයන බවද ඇය කීවාය.

මෙම අවස්ථාවට සහභාගි වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පශු සම්පත් සංවර්ධන) ආචාර්ය පාලිකා ප්‍රනාන්දු කියා සිටියේ සූකර ගොවිපොළවලින් 251 ක් මේ වනවිට ආරම්භ කර තිබෙන නමුත්, තවමත් අවිධිමත් ලෙස පවත්වාගෙන යන ගොවිපොළවලින් සතුන් මියයෑම් වාර්තා වන බවය.

Trending

Exit mobile version