පුවත්

රනිල් “නූතන විභීෂණ” යැයි විමල් කියයි 

Published

on

ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය බවට පත් කිරීමේ න්‍යාය පත්‍රය රනිල් වික්‍රමසිංහ හෙවත් “නූතන විභීෂණ” අතේ ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා කියයි.

එමගින් ස්වාධීන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකා රාජ්‍යයේ පැවැත්ම ඓතිහාසිකව අතුරුදන් කිරීමේ අනතුර, රාම රාවණ සහ විභීෂණ නූතන කතාව කෘතිය මගින් පෙන්වා දී තිබෙන බව වීරවංශ මහතා ඔහු විසින් ලියූ “රාම රාවණ සහ විභීෂණ නූතන කතාව” කෘතිය ජනගත කරමින් කියා සිටියේය.

මේ පොත එළිදැක්වීමේ උත්සවය පසුගිය දා කොළඹ 07, ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනයේදී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද කියා සිටියේය

” මෙම ‘රාම රාවණ සහ විභීෂණ නූතන කතාව’ නම් වූ කෘතිය එළිදැක්වීමට මා අදහස් කළේ රාජ්‍යයක්, ජාතියක් ලෙස අප මුහුණ දී සිටින තත්කාලීන අභියෝගය පිළිබඳව සමාජය තුළ සැබෑ සංවාදයක් ඇති කිරීමේ පරමාර්ථයෙනුයි. ඔබ දන්නවා, මීට වසර කිහිපයකට පෙර යුක්‍රේනයේ පැවතුණා ‘මයිදාන් අරගලය’ නම් වූ අරගලයක්. දැන් යුක්‍රේනය සිටින්නේ ‘පශ්චාත් මයිදාන් අරගල අවධිය’කයි. මයිදාන් අරගලයෙන් පාර කපනු ලැබුවේ රුසියාව සහ යුක්‍රේනය අතර නොනවතින යුද ගැටුමකට. පශ්චාත් මයිදාන් අරගල අවධිය, යුක්‍රේනයට යුද්ධයක් උරුම කර දුන්නා වගේ ගාලුමුවදොර අරගලයෙන් පසු අවධිය, ‘ජීව උණ්ඩ නොමැති යුද්ධයකට’ ශ්‍රී ලංකා රාජ්‍යය ඇද දමා තිබෙනවා. කෙසේ වුවත් මයිදාන් අරගලයෙන් පසුව යුක්‍රේනයට අත් වූ ඉරණමට සමාන ඉරණමකට අපි අද ඇද වැටී තිබෙනවා. පශ්චාත් ගාලුමුවදොර අරගල සමය තමයි ‘නූතන විභීෂණ’ අතට රටේ පාලනය අරගෙන දුන්නේ. රාමායනයට අනුව විභීෂණ කියන්නේ රාවණගේ සහෝදරයා; රාවණව පාවාදුන් සහෝදරයා. රනිල් වික්‍රමසිංහ කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ සහෝදරයා නොවුණත් සංකේතාත්මකව එසේ හැඳින්විය හැකියි. ගාලුමුවදොර අරගලය මෙන්ම වෙනත් සියලු සාධක හේතුවෙන් රනිල් වික්‍රමසිංහගේ අතට බලය ගියා. අද මේ ආකාරයට ස්වෛරී පැවැත්ම බිලි ගනිමින් අවමංගල්‍ය පෙරහැරක රැගෙන යමින් තිබෙන රාජ්‍යය, එතැනින් මුදාගෙන නැවත එයට පණ දී බලගැන්වීමේ යුතුකම හා වගකීම අප හමුවේ තිබෙනවා. ”

මෙම අවස්ථාවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, යුතුකම සංවිධානයේ නායක ගෙවිඳු කුමාරතුංග, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති වීරසුමන වීරසිංහ, මහාචාර්ය චන්න ජයසුමන, ගාමිණී වලේබොඩ, ජගත් ප්‍රියංකර යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක් ද එක්ව සිටියහ.

Trending

Exit mobile version