පුවත්

රාජගිරියේ ඉඩම් වංචාවක සැකකරුවන් අත්අඩංගුවට නොගත් CID නිලධාරීන් පිරිසකට නියෝගයක්

Published

on

රාජගිරියේ පිහිටි රුපියල් කෝටි 370 ක් පමණ වටිනා ඉඩමක් සඳහා කූට ලේඛන සකස් කර වංචාවක් කළ සංවිධානාත්මක කණ්ඩායමක් දීර්ඝ කාලයක් තිස්සේ අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියාට නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළව පුද්ගලයන් 6 දෙනකු සැකකරුවන් ලෙස නම් කරමින් මෙතෙක් අත්අඩංගුවට ගෙන තිබුණද, එම වංචාවට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට වසර 6 ක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වූයේ ඇයිදැයි පැමිණිල්ලේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක දීර්ඝ වශයෙන් කරන ලද කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.

රාජගිරිය, නානායක්කාර මාවතේ පිහිටි අක්කර 4 ක පමණ විශාල ඉඩමක් සඳහා කූට ලේඛන සකස් කර දේපොළ වංචා කළ බව කියන සිද්ධියකට අදාළ පැමිණිල්ලක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී එම සිද්ධියට අදාළව නිසි විමර්ශනයක් පවත්වන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලෙස ඉල්ලමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක එලෙස කරුණු ඉදිරිපත් කළේය.

බත්තරමුල්ල, ජයන්තිපුර බෝධිරාජ මාවතේ පදිංචි ව්‍යාපාරිකයකු වන සුදත් දේවපුර නමැති අය විසින් අදාළ පැමිණිල්ල 2019 අගෝස්තු මස 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 3 හි ස්ථානාධිපතිවරිය ලෙස කටයුතු කළ කාන්තා පොලිස් පරීක්ෂක නාලිනී දිසානායක වෙත ඉදිරිපත් කර තිබිණි.

මෙම නඩුවේ දැනට අනාවරණය වී ඇති සැකකරුවන් ලෙස කැලණිය, පොල්හේන පදිංචි ඇලෝසියස් ලෝරන්ස් කැප්පෙටිපොල (අදාළ සැකකරු කොරෝනා වයිරසය හේතුවෙන් 2021 අගෝස්තු 20 වැනිදා මියගොස් තිබිණි.) මල්වාන පදිංචි බුත්ගමුව මුදියන්සේලාගේ ඉන්ද්‍රසේන, කුණ්ඩසාලේ වරාපිටිය පදිංචි බින්දු කපිලරත්න, බණ්ඩාර වීරතුංග, කටාන කඳවල පදිංචි ගේබ්‍රියල් ප්‍රනාන්දු හෙවත් ගාමිණී ප්‍රනාන්දු, අමරසිංහ ආරච්චිගේ සමිත, ජයසිංහ ආරච්චිගේ ගුණවර්ධන යන අය නම් කර තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක කරුණු ඉදිරිපත් කරමින් පැමිණිලිකරු මෙම සිද්ධියට අදාළව අල්ලස් කොමිසම වෙත පැමිණිලි කර ඇති බවත්, එම පැමිණිලිද මේ වනවිට විභාග වන බව දන්වා සිටියේය.

මෙම වංචාවට අදාළ සම්බන්ධ සියලු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දීර්ඝ කාලයක් ප්‍රමාද කිරීමෙන් පැමිණිලි පාර්ශ්වයට අගතිදායක තත්ත්වයක් ඇතිවී තිබෙන බවද ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක දන්වා සිටියේය.

මෙම නඩුව ලබන ජුනි 3 වැනිදා කැඳවන ලෙස නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එදිනට විමර්ශනයේ ප්‍රගතිය වාර්තා කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.

Trending

Exit mobile version