2014 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට අඩු මුදලකට බදු දීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අද කොළඹ මහාධිකරණය හමුවේ සංශෝධිත අධි චෝදනා පත්‍ර භාරදී තිබේ.
ඒ, එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ හමුවේ ඊයේ (26) කැඳවු අවස්ථාවේදීයි.
එහිදී අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට විවෘත අධිකරණයේදී සංශෝධිත චෝදනා පත්‍ර භාර දී ඇත.
ඉන් අනතුරුව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් අල්ලස් කොමිසම විසින් තමන් වෙත ලබාදිය යුතු ලේඛන සම්පූර්ණ වශයෙන් ලබාදී නොමැති බවද අධිකරණයට දන්වා තිබේ.
ඒ අනුව ඒ පිළිබඳව පරීක්ෂාකර නැවත දැනුම්දීම සඳහා විත්තියේ නීතිඥවරුන්ට කල් දුන් විනිසුරුවරයා අනතුරුව නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 16 වැනිදා කැඳවීමට නියෝග කළේය.