පුවත්

රාමසාන් උත්සවය අදයි

Published

on

ඉස්ලාම් බැතිමතුන් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට යෙදී තිබේ.

හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නවසඳ ඊයේ දින (30) දිස් වූ බැවින් අද (31) රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය විසින් නිවේදනය කරන ලදී.

කොළඹ මහපල්ලිය, සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ හිලාල් අංශය හා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 1446 ෂව්වාල් මාසයේ පළමු දින මාර්තු 31වනදා බවට ඒකමතිකව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව අද දින  රාමසාන් උත්සවය සමරති.

මාසයක්‌ පුරා උපවාස ශීලය රකින ඉස්ලාම් බැතිමත්තු චන්ද්‍රයාගේ දර්ශනය අනුව අද  දිනයේ සුපුරුදු පරිදි උදැසන ශීලයෙන් මිදෙති. ඉන් පසු දේවස්‌ථානවලට  ගොස්‌ නැමඳුම්වල යෙදී අනතුරුව නිවෙස්‌ කරා පැමිණ අසල්වැසියන්ට, විශේෂයෙන් තමන්ට වඩා වත් පොහොසත්කමින් අඩු සහෝදර ජනතාවට ආහාරපාන, ඖෂධ, ඇඳුම් පැළඳුම්, මුදල් හා විවිධ පරිත්‍යාගයන් කරති.

බොහෝ විට අසල්වැසියන්ට බෙදා දෙන ආහාර අතර “කුර්බාන්” යන නමින් හැඳින්වෙන එළු හා ගව මස්‌ විශේෂ අංගයකි. මුස්‌ලිම් ධනවත්තු තමන් අවුරුද්ද පුරා උපයන මුදලේ අත ඉතිරි ප්‍රමාණයෙන් 2 1/2% ක්‌ මෙම පරිත්‍යාග හෙවත් සකාත් සඳහා වෙන් කරති. බෞද්ධ, කිතුනු හා හින්දු වැනි ආගමික අසල්වැසියන් මධ්‍යයේ ජීවත්වන මුස්‌ලිම් ජනයා මෙදින ඒ අයටත් ආහාරපාන වලින් සංග්‍රහ කිරීමේ ප්‍රවණතාවක්‌ අද ලංකාවේ පවතී.

රාමසාන් උත්සවය කවර උස්‌ පහත් භේදයකින් හෝ තොරව මුස්‌ලිම් ප්‍රජාව එකට බැඳ තබන ආගමික චාරිත්‍රයකි.

තමන් උපයා ගත් ධනය අන්‍යයන් සමග හවුලේ භුක්‌ති විඳීම රාමසාන් උත්සවය සමග බැඳුණ අගනා සංකල්පයකි.

අද දින රාමසාන් සමරන ශ්‍රී ලාංකේය සියලුම ඉස්ලාම් බැතිමතුන්ට  Sri Lanka Mirror අපි ද ප්‍රීතිමත් රාමසාන් දිනයකට සුබ පැතුම් එක් කරන්නෙමු.

ඊද් මුබාරක්’!

Trending

Exit mobile version