පුවත්

ලංකාවේ යූ ටියුබ් හිඟන්නෝ බෝකරන බවට පොලිසියෙන් චෝදනාවක්!

Published

on

කොළඹ නගරාශ්‍රිතව කුඩා දරුවන් අතැතිව මහමඟ සිඟමන් යදින බොහෝ කාන්තාවන් මතට ඇබ්බැහි වූවන් බව පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශයේ විමර්ශනවලට අනුව මේ වන විට හෙළිව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, මතට ඇබ්බැහි වූ කාන්තාවන් කුඩා දරුවන් අතැතිව යාචක රැකියාවේ යෙදීමේ සිදුවීම්වලට ඇතැම් යූටියුබ් නාළිකා ලබාදෙන ප්‍රසිද්ධිය හේතුවෙන් ඔවුන් තවදුරටත් ඒවාට යොමුවීමේ ප්‍රවණතාවක් ඇතැයි පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය කියා සිටී.

මේ හේතුවෙන් ආලෝක සංඥා අසල වාහන නවතා සිටින රියැදුරෝද දැඩි අසීරුතාවකට මුහුණ පාන බව ඇය පෙන්වාදෙයි.

දිගින් දිගටම සිදුවන මෙවැනි සිදුවීම්වලට යූටියුබ්, ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැමුන් ලබාදෙන ප්‍රසිද්ධිය නිසා‍ එම කාන්තාවන්ට එය දිගින් දිගටම සිදුකරගෙන යාමට රුකුලක් ලැබී ඇතැයිද ඇය සඳහන් කරයි.

එම නාළිකා ප්‍රසිද්ධ කරගැනීමේ අරමුණින් ඇතැම්හු දරුවන් අතැතිව සිටින යාචක කාන්තාවන්ට උදව් කරන ආකාරය පටිගත කර ඒවා තම නාළිකාවේ පළ කිරීම ද පසුගිය කාලයේ දක්නට ලැබිණි.

නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය පවසන්නේ මෙමගින් යාචක කාන්තාවන්ට වැඩි වැඩියෙන් උදව් උපකාර ලැබීම නිසා ඔවුන් තව තවත් මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරු වන බවයි.

එමෙන්ම ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී මේ වනවිට මෙය ගැටලුකාරී තත්ත්වයකට පත් වී ඇතැයිද ඇය පැවසුවාය.

මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ බොහෝමයක් කාන්තාවන්ගේ බිලිඳු දරුවන් පෝෂණ ඌනතාවෙන් පෙළෙන බවද ඇය කීවාය.

එසේම පොලිස් භාරයට ගත් අයගෙන් අනාවරණය වූ තොරතුරු අනුව සිඟමන් යදින වැඩිහිටියන් සමග සිටින ඇතැම් කුඩා දරුවන් පවා මතට ඇබ්බැහි වී සිටින බවට හෙළිව තිබිණි.

පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශය පවසන්නේ මතට ඇබ්බැහි වීම නිසා දිනකට අලුතින් එක් මුහුණක් හෝ මහමඟට බැස යාචක රැකියාවට එකතු වන බවයි.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version