පුවත්

වැලිකඩ රැඳවූ හිරුණිකා වෛද්‍යවරයෙක් හමුවට

Published

on

බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බන්ධනාගාර වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර තිබේ.

ඒ, වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහාය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ඇය වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ ආර් වාට්ටුවේ රඳවා සිටින බවයි .

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එම වාට්ටුවේ රඳවා සිටින්නේ තවත් රැඳවියන් සමඟය.

සිරදඬුවම් නියම වීම හේතුවෙන් සිරකාරියන්ට නියම වී ඇති ඇඳුම ද ඊයේ දිනයේ බන්ධනාගාරය වෙත රැගෙන ආ අවස්ථාවේම ඇයට ලබාදුන් බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ඇයට සුදු පැහැති රෙද්දක් සහ හැට්ටයක් නියම වී තිබේ.

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවට වරදකරු කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කෙරුණි.

ඒ, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි. එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළේ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසිනි.

ඒ අනුව විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා 18 කට වරදකාරිය කෙරුණු අතර එම එක් එක් චෝදනාවට රුපියල් 20,000 බැගින් දඩ නියම කරන බවත් විනිසුරවරයා විසින් එහිදී නියෝග කරන ලදී.

එම දඩ මුදල් ගෙවීම පැහැර හැරියහොත් එක් චෝදනාවකට මාස 06 බැගින් සිර දඬුවම් නියම කරන බවත් එම නියෝගයේ සඳහන්ය.

කෙසේවෙතත් ලබාදුන් දඬුවමට එරෙහිව ලබන සඳුදා අභියාචනයක් ඉදිරිපත් කරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නීතිඥවරුන් කියා සිටියහ.

Trending

Exit mobile version