Connect with us

පුවත්

විභාග පැවැත්වීමේදී මුල් තැන දිය යුත්තේ සිසුන්ගේ පහසුවට – ජනපති

Published

on

තමන් අධ්‍යාපනය ලැබූ එදිනෙදා වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස් වී නුහුරු පරිසරයක විභාගයට මුහුණ දීම සිසුන්ගේ මානසික නිදහසට බාධාවක් බවත්, සෑමවිටම අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව තම පහසුව වෙනුවට ශිෂ්‍යයන්ගේ පහසුව සහ උන්නතිය වෙනුවෙන් කටයුතු කළයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ඒ අනුව අවම වශයෙන් සිසුන් 75 දෙනෙකු පමණ විභාගයට සුදුසුකම් ලබා ඇති යම් පාසලක් වේද, එම පාසල විභාග මධ්‍යස්ථානයක් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා මේ වන විට ආරම්භ වී ඇති විභාග කටයුතුවලට බාධා නොවන අයුරින් යම් පහසුවක් සැලසිය හැකි නම් ඒ වෙනුවෙන් ද ඉදිරි දින කිහිපය තුළ පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා, විභාග කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් සමඟ අද (29) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය. 

අද (29) ආරම්භ වූ 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මධ්‍යස්ථාන 3,568කදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 472,553ක් පෙනී සිටිති. ඒ වෙනුවෙන් සේවයේ යොදවා ඇති රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාව 40,000කට ආසන්නය.

නමුත් මෙවර පාසල් කිහිපයකම සිසුන් තමන් අධ්‍යාපනය ලබන පාසල වෙනුවට වෙනත් පාසලක විභාග මධ්‍යස්ථානයකට යොමු කිරීමට  බලධාරීන් කටයුතු කිරීම නිසා දරුවන් දුෂ්කරතාවන්ට මුහුණදී සිටින බව දෙමාපියන් සහ දරුවන් විසින් ජනාධිපතිතුමා දැනුවත් කර ඇත.

මේ පිළිබඳව සොයා බැලීමේ දී අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ විභාග මධ්‍යස්ථාන සීමා කිරීමට තීරණය කළ බවයි. 

මෙය සිසුන්ගේ මානසික මට්ටමට සෘජුවම බලපාන තත්ත්වයක් හෙයින් මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමේ දී අවම වශයෙන් වසරක පමණ කාලයක් එම පාසල් සහ සිසුන් දැනුවත් කොට  එය ක්‍රියාවට නැංවීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේය.

කෙසේ වෙතත් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා පවත්වන සියලු විභාග ප්‍රමාදයකින් තොරව පැවැත්වීමට  විධිමත් වැඩපිළිවෙළක් අත්‍යාවශ්‍ය බවත්, ඒවා නොපවැත්වීමට හේතු දැක්වීම විභාග දෙපාර්තමේන්තුවේ කාර්යයක් නොවන බවත් පැවසු ජනාධිපතිවරයා  සිසුන්ට හුරු පරිසරයේ විභාගයට පෙනී සිටීමට පසුබිම සැකසීම අධ්‍යාපන අමාත්‍යාංශයේ හා විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වගකීමක් බව ද අවධාරණය කර සිටියේය.

මෙම අවස්ථාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර යන මහත්වරු ඇතුළු නිලධාරීහු එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

සේමසිංහ ජෝර්ජියාවට

Published

on

By

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව සහභාගී වීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ජෝර්ජියාව බලා පිටත්ව ගොස් තිබේ.

සමුළුව අද සිට ලබන 05 වැනිදා දක්වා ජෝර්ජියාවේ ට්බිලිසි අගනුවර දී පැවැත්වීමට නියමිතය.

ආසියානු සංවර්ධන බැංකුවේ ආරම්භක සාමාජිකයෙකු වන ශ්‍රී ලංකාව එහි මූල්‍ය පහසුකම් මගින් මෙරට ආර්ථික වර්ධනය සඳහා විවිධ සහය ලබා ගෙන තිබේ.

සමුළුව සඳහා අර්ථවත් දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කරන බවත් මෙවර සමුළුව සෙසු සාමාජික රටවල් සමග හවුල්කාරීත්වය ඇති කර ගැනීමේ සංසදයක් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Continue Reading

පුවත්

ඉරාන ජනපතිගේ ලංකා ගමනට ඊශ්‍රායල් තානාපතිගේ කනස්සල්ල (වීඩියෝ)

Published

on

By

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහීම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් තමා කනස්සල්ලට පත්වන බව ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල් තානාපති නාඕර් ගිලන් මහතා කියයි.

නිවුස් ෆස්ට් හි ශාලන් බෙනඩික්ට් සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සි‍ටියේය.

Continue Reading

පුවත්

විජේදාසගේ ඇමතිකම ගැන අවසන් තීන්දුව රනිල් අතේ!

Published

on

By

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මුණගැසුණු අවස්ථාවේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන්ද කතා කර ඇති බව වාර්තා වේ.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රීලනිප වැඩ බලන සභාපතිවරයා ලෙස පත්වීම පිළිබඳව දෙදෙනා අතර මෙම හමුවේදී සාකච්ඡා වී ඇත. 

එහිදී බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට පවසා ඇත්තේ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පිළිබඳව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ වනවිටත් කටයුතු කරමින් සිටින බවය. 

ඔහු ඇමැතිකමින් ඉවත් කිරීම පිළිබඳව වගකීම ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට බවද එහිදී ඔහු එහිදී අවධාරණය කර තිබේ.

මේ අතර, විජේදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නම් කිරීමත් සමඟ තත්ත්වය තවත් දරුණු වී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මැයි 01දා විපක්ෂයේ කට්ටිය රනිල්ගේ වේදිකාවට ගොඩ නොවුණේ ඇයි?

මේ අතර, ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා තරග කරන බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමෙන් පසු සමගි ජන බලවේගයේ සහ උත්තර ලංකා සභාවේ මන්ත්‍රිවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේදි ප්‍රසිද්ධියේම සහය පළ කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රහසිගතව දැනුම් දී ඇති බවට ද වාර්තා පැතිර තිබේ. 

මැයි පළමු දින ඔවුන් එජාප වේදිකාවට පැමිණීමට නියමිතව තිබුණද විනය ක්‍රියාමාර්ග හා පක්ෂයේ නීතිරීති ඊට බාධාවක් වී ඇති බැවින් එය සිදු නොවන බවද වාර්තා වේ.

මූලාශ්‍රය – අරුණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved