ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කෙරුණු පරිප්පු කන්ටේනර් පහක් එංගලන්තයේ පාතාල නායකයකුගේ මැදිහත්වීමෙන් පාතාල ක්‍රියාකාරීන් පිරිසක් වෙනත් පාර්ශවයකට රුපියල් දෙකෝටි අසූ ලක්ෂයකට විකුණා ඇතැයි ආරංචි මාර්ග පවසයි.
මෙම පරිප්පු තොගයේ තක්සේරු වටිනාකම ලෙස සඳහන් වී ඇත්තේ රුපියල් එක්කෝටි දහතුන් ලක්ෂයකි.
මෙම ගනුදෙනුවෙන් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක පමණ ලාභයක් ලබාගෙන ඇති බවත් ලාභය ඇතැම් නිලධාරීන් අතරේ ද බෙදී ගොස් ඇති බවත් පැවැසේ.
මෙම එක් කන්ටේනරයක පරිප්පු කිලෝ 23000ක් තිබී ඇත.
මෙයට අමතරව මෙම කණ්ඩායම රාජ සන්තක කෙරුණු තලපත් බහාලුමක් ලබාගෙන තලපත් කිලෝව 400 බැගින් විකුණා ඇතැයි ද වාර්තා වේ.
මීට පෙර ටයිල් කන්ටේනර් 15 ක් පාතාලේ මැදිහත්වීමෙන් මේ ආකාරයට විකිණීමට සූදානම් වීමේ දී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මැදිහත්වී එම කටයුත්ත වහාම නතර කරනු ලැබීය.
කොළඹ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන ඔහුගේ සමීපතමයකු ද මෙදින රේගුවට පැමිණ සිට ඇති බව වාර්තා වේ.
මෙම ටෙන්ඩර් ලබා ගැනීම සඳහා කිසිදු ලියාපදිංචි සහතිකයක්, බදු අංකයක් හෝ වැට් අංකයක් හෝ අවශ්‍ය නොවීම මෙවැනි ක්‍රියාමාර්ගවලට ප්‍රධාන හේතුවක් බව ද ඉහත ආරංචි මාර්ග පැවසීය.
ආනයන ක්‍රියාවලිය සඳහා විධිමත් ක්‍රමවේදයක් නොතිබීම මෙවැනි ජාවාරම්වලට මූලිකම හේතුව බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රි ගාමිණී වලේබොඩ ද පසුගිය දා පාර්ලිමේන්තු කාරක සභාවක දී පැවසීය. මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ බදු අංකයක් හෝ නොමැති පුද්ගලයන්ගේ නමින් බහාලුම් ආනයනය කෙරෙන බවත් ඒවා නිශ්කාෂණයේ දී කිසිදු බදු මුදලක් ආණ්ඩුවට නොලැබෙන බවත් ය. දළ වශයෙන් එලෙස ආනයනය කෙරෙන බහාලුම් ප්‍රතිශතය සියයට හැටක් පමණ වන බවත් මන්ත්‍රිවරයා කීවේය.