පුවත්

මීගමුවේ SPA එකක HIV හැදුන කතුන් 2ක්; SPA  ගිය අය සොයා මෙහෙයුමක්

Published

on

මීගමුවේ සම්බාහන මධ්‍යස්ථානවලින් එච්.අයි.වී. වයිරසය ශරීරගත වූ කාන්තාවන් දෙදෙනකු සොයාගැනීමත් සමග ඔවුන්ගෙන් සේවය ලබාගත් පාරිභෝගිකයන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීමට පොලිසිය සහ සෞඛ්‍ය අංශ ඒකාබද්ධව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව අදාළ සම්බාහන මධ්‍යස්ථාන වෙත සේවය ලබාගැනීම සඳහා පැමිණි පුද්ගලයන් සම්බාහන මධ්‍යස්ථාන වෙත ලබාදී ඇති පෞද්ගලික තොරතුරුවලට අනුව එම පුද්ගලයන් හඳුනාගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවද පැවසේ.

මේ අතර, එච්.අයි.වී. ආසාධිත කාන්තාවන් දෙදෙනෙකු හඳුනාගත් බව සැලවීමත් සමග ඔවුන් සේවය කළ සම්බාහන මධ්‍යස්ථානය පිළිබඳ දැනගැනීම සඳහා පොලිසිය වෙත දෛනිකව දුරකථන ඇමැතුම් රැසක් ලැබෙන බව පොලිසිය සඳහන් කරයි.

පසුගිය දිනක මීගමු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූ පුද්ගලයන් සඳහා සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකදී එයට සහභාගී වූ එක් අයකුට එච්.අයි.වී. වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබේ.

ඉන් අනතුරුව අදාළ අංශ විසින් ඔහුගෙන් කරන ලද විමසීම්වලදී හෙළිවී ඇත්තේ ඔහු දීර්ඝකාලීනව සම්භාහන මධ්‍යස්ථානවල සේවය ලබාගත් සාමාජිකයකු බවයි. 

ඉන් අනතුරුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝග පරිදි මීගමුව කොට්ඨාසභාර පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ මෙහෙයවීමෙන් විමර්ශනයක් ආරම්භකර සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් ගණිකා නිවාස පවත්වාගෙන ගිය මධ්‍යස්ථාන පනස් තුනක සේවයේ නියුතු කාන්තාවන් 137 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පැවසේ.

එම පිරිස අතර වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක්ද සිට තිබේ. 

මෙම පිරිස අතර එච්.අයි.වී. ආසාදිත කාන්තාවන් දෙදෙනෙකු හා සමාජ රෝග වැලඳුණු කාන්තාවන් හත්දෙනෙකු හඳුනාගෙන ඇත.

ඊයේ (27) වන විටත් ආදාළ සම්බාහන මධ්‍යස්ථාන 53ක් වසා දැමීමට කටයුතු කර ඇති අතර එම මධ්‍යස්ථානවල නාමපුවරුද පොලිසිය විසින් ගලවා ඉවත්කර ඇත. 

එමෙන්ම නාමපුවරු ගලවා ඉවත් කිරීමෙන් පසු නාම පුවරු නොමැතිව හොර රහසේ සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නේද යන්න පිළිබඳ සොයා බලන ලෙස මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පොලිස් බුද්ධි අංශ වෙත දැනුම්දී තිබේ.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version