රජයට අය විය යුතු රුපියල් කෝටි 1,000කට අධික බදු මුදල් පසුගිය වසර කිහිපය තුළ දී අහිමි කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කරන ලද වාහන 6,000ක් පමණ මාර්ගවල ගමන් කරන බව අල්ලස් කොමිසම කළ විශේෂ විමර්ශනයකදී අනාවරණය වී ඇතැයි “සති අග අරුණ” වාර්තා කර තිබේ.එම පුවතේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු කළ ඉහළ පෙළේ නිලධාරීන් රුපියල් කෝටි ගණනින් අල්ලස් ලබාගනිමින් කළ මෙම මහා පරිමාණ ජාවාරම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකයේ නිලධාරීන් දීර්ඝ වශයෙන් කරන ලද විමර්ශනයකින් අනතුරුව එම කරුණු අනාවරණය කරගෙන තිබේ.
සූක්ෂ්ම අයුරින් කරන ලද මෙම ජාවාරමට සම්බන්ධ වී සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියකුගේ දිනක ආදායම රුපියල් ලක්ෂ 30ක් දක්වා ඉතා ඉහළ මට්ටමක පැවැති බව අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාෂණය නොවූ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට අනීතික ලෙස තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කරන ලද සුඛෝපභෝගී වාහන පිළිබඳව පුළුල් පරීක්ෂණයක් මේ වනවිට පවත්වන බව අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ අනුෂා සම්මන්පෙරුම සඳහන් කළාය.
‘‘මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ව්‍යාජ අයුරින් ලියාපදිංචි කරන ලද අධි සුඛෝපභෝගී V8, ප්‍රාඩෝ, මොන්ටෙරෝ ඇතුළු වාහන මෙරටට ආනයනය කළ බවට තොරතුරු ශ්‍රී ලංකා රේගුවේ දත්ත පද්ධතියේ නැහැ. G, H සහ J යන කාණ්ඩවලට අයත් වාහන මෙලෙස ව්‍යාජ අයුරින් ලියාපදිංචි කර තිබෙන බව විමර්ශනයේදී අනාවරණය වුණා. එම කාණ්ඩවලට අයත් වාහන මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. එලෙස ව්‍යාජ ලේඛන මත ලියාපදිංචි කරන ලද අල්ලස් කොමිසම විසින් භාරයට ගෙන, නියමිත බදු මුදල් අයකර ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුව වෙත භාර දෙනවා’’ යැයි අල්ලස් කොමිසමේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.