Connect with us

ඡායාරූප සටහන

රනිල් – මෝදි හමුවේ(ඡායා)

Published

on

ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර දිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී තිබේ.

අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වය යටතේ ආර්ථික, යටිතල පහසුකම් සහ තාක්‍ෂණික ක්ෂේත්‍රයේ අත් කරගෙන ඇති ප්‍රගතිය ජනාධිපති වික්‍රමසිංහ මහතා ගේ ඇගයීමට ලක් වී ඇති අතර, ඉන්දියාවේ සංවර්ධනය අසල්වැසි රටවලට සහ ඉන්දියානු සාගර කලාපයට ධනාත්මක බලපෑමක් ඇති කරන බවද ඔහු අවධාරණය කළේය.

මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අති දුෂ්කර කාල පරිච්ඡේදයන්හිදී ඉන්දියාව ලබාදුන් නොසැලෙන සහයෝගය වෙනුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට හා ඉන්දීය රජයට සහ ජනතාවට ශ්‍රී ලංකා ජනපතිවරයා විසින් කෘතඥතාව පළ කර ඇත.

ශ්‍රී ලංකාවේ සැමට ආර්ථික පුනර්ජීවනය, තිරසාර සංවර්ධනය සහ යුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා වූ තම කැපවීම යළිත් වික්‍රමසිංහ මහතා විසින් තහවුරු කර ඇති අතර, ප්‍රතිසන්ධානය සහ බලය බෙදීම සඳහා වූ පුළුල් සැලැස්මක් සහිතව සියලු පක්ෂ නායකයින්ට පොදු එකඟතාවකට පැමිණෙන ලෙස සිදු කළ ආරාධනය මෝදි අගමැතිවරයාගේ ඇගයීමට ලක්ව තිබේ.

ලංකාව ස්ථීර ලෙස ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් සිටින බවත්, ඒ හරහා දැනටමත් රට ස්ථාවර වීමේ සාධනීය ප්‍රතිඵල පෙන්නුම් කරමින් සිටින බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ දූත මණ්ඩල මට්ටමේ සාකච්ඡාවලින් පසුව, ජනාධිපති වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ අතර, ගෙන ඇති ක්‍රියාමාර්ග හරහා ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය රටතුළ මෙන්ම බාහිර පාර්ශවයන්ගේ ද විශ්වාසය යළි ඇති කිරීමට හේතු වී ඇති බවද පෙන්වා දුන්නේය.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය ආර්ථික සබඳතා කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා දෙරට අතර සබඳතා වැඩි දියුණු කරන  අනාගත ඉන්දු – ලංකා ආර්ථික හවුල්කාරිත්වයක වැදගත්කම  අවධාරණය කළ අතර, එය දෙරට අතර පවතින ඓතිහාසික, සංස්කෘතික බැඳීම ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් වීමට හේතු වනු ඇති බවද පැවසීය.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් මෙසේද පවසයි :

ආර්ථික හවුල්කාරිත්වය පිළිබඳ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා නූතන සම්බන්ධතා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව පැවසූ ජනාධිපතිවරයා මෑතකදී චෙන්නායි සහ යාපනය ගුවන් සේවා නැවත ආරම්භ කිරීම දෙරට අතර ගුවන් සම්බන්ධතාවයේ වැදගත් පියවරක් බව පැවසීය. දෙරට අතර ගුවන් සේවා සහ යාත්‍රා සේවා වැඩිදියුණු කිරීමට එකඟත්වයක් ඇති බවත් එය සංචාරක හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට මෙන්ම ආර්ථික වර්ධනයටද ඉවහල් වන බව ජනාධිපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ආකාරයට ඉන්දීය සහාය ඇතිව ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට සංවර්ධනය කිරීම, කර්මාන්ත හා ආර්ථික කටයුතු සඳහා මධ්‍යස්ථානයක් බවට පත්කිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අගමැති මෝදි අතර සාකච්ඡා පවත්වා තිබේ. ශ්‍රී ලංකාවට දැරිය හැකි සහ විශ්වාසනීය බලශක්ති සැපයුමක් සහතික කිරීම සඳහා ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ තෙල් නල මාර්ගයක් ඉදිකිරීම පිළිබඳවද එහිදී අවධානය යොමු කර ඇත.

හරිත සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මත පදනම් වූ ඉන්දු-ලංකා සබඳතා ශක්තිමත් කිරීම සහ අනාගතය වෙනුවෙන් දෙරට අතර විශ්වාසය මත පදනම් වූ ශක්තිමත් අඩිතාලමක් නිර්මාණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේ අරමුණයි. පුනර්ජනනීය බලශක්ති සහයෝගීතාවය සඳහා වන අන්තර් සහයෝගීතා ගිවිසුම මඟින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්වී මාර්ගික විදුලිබල වෙළඳාම සහ කලාපීය ස්ථිරසාර සංවර්ධනය මත පදනම් වූ ආර්ථික සහයෝගීතාවයක් වෙනුවෙන් පහසුකම් සළසනු ඇත.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කිරීමට සහ පුළුල් කිරීමට සිය ඉන්දීය සංචාරය ඉතා වටිනා අවස්ථාවක් සළසා දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. තරඟකාරී ලෝකය තුළ අන්‍යෝන්‍ය සමෘද්ධිමත්භාවය ළඟා කර ගැනීම සඳහා දෙරට අතර පවතින ශක්තිමත් භූගෝලීය සහ ශිෂ්ඨාචාරමය සබඳතා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බවද අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද්වීපාර්ශ්වික සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා ඉන්දියානු සහාය ඇතිව නව උසස් අධ්‍යාපන ආයතන බිහි කිරීම තුළ  දැනුම සහ කුසලතාවලින්  පරිපූර්ණ  ශ්‍රී ලාංකික තරුණ පරපුරක් බිහි කිරීම මඟින් රටේ ජාතික සංවර්ධනයට ලබා ගත හැකි සක්‍රීය දායකත්වය පිළිබඳව ද අවධාරණය කළේය.

තලෛයිමන්නාරම- රාමේෂ්වරම් සහ නාගපට්ටිනම්- කන්කසන්තුරෙයි අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවා ආරම්භ කිරීම දෙරට අතර නාවික ගමනාගමනය තව දුරටත් ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගමනාගමනය පිළිබඳ නව මංපෙත් ගවේෂණය කිරීම දෙරටේ ආර්ථික වර්ධනය තව දුරටත් උත්ප්‍රේරණය කරනු ඇති බවද  සඳහන් කළේය.

මීට පෙර, ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් මහතාද අද පෙරවරුවේදී ජනාධිපති වික්‍රමසිංහ මහතාව හමුවී තිබුණි.

ඡායාරූප සටහන

“කෘත්‍රීම බුද්ධිය සමඟ කෘෂි කර්මාන්තයේ නව පරිවර්තනයකට සූදානම්”

Published

on

By

කෘත්‍රීම බුද්ධිය (ඇඓ) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට අවශ්‍ය සහාය ලබා දෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා විසින් කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කෑගල්ල නෙළුම්දෙණිය ප්‍රදේශයේ ඉදිකර ඇති හරිතාගාරය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට අද (17) සහභාගී වෙමින්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම අදහස් දක්වන ලදී.

මෙම කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සඳහා මෙම වසරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක් තෝරාගෙන ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය .

Continue Reading

Videos

චීන සංස්කෘතික ප්‍රදර්ශනයක් කොළඹදී  (ඡායා/වීඩියෝ)

Published

on

By

චීන සංස්කෘතිය පිළිබඳ ප්‍රදර්ශනයක් ඊයේ (මැයි 09) කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රදර්ශන ශාලාවේදී ආරම්භ විය.

ඡායාරූප, කලා භාණ්ඩ, අත්කම් හා චීන අක්ෂර කලාව පිළිබඳ මෙම ප්‍රදර්ශනය සංවිධානය කර ඇත්තේ ශ්‍රී ලංකා – චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය (ASLCSCC) විසිනි. මෙම ප්‍රදර්ශනය අද දිනයේදී ද පැවැත්වේ.

මෙය, ඔක්තෝබර් 01 වැනිදා පැවැත්වීමට නියමිත මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය සැමරීම සඳහා මෙරට පැවැත්වීමට නියමිත වැඩසටහන් මාලාවක සමාරම්භයයි. 

‘ශ්‍රී ලංකා මිරර්’ වෙත අදහස් දක්වමින් ASLCSCC සභාපති – ඉන්ද්‍රානන්ද අබේසේකර මහතා පැවසුවේ මෙම සංවත්සරය සැමරීමට වැඩසටහන් 75ක් සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බවයි.

චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශයේ නිලධාරීන්, ASLCSCC සාමාජිකයින් සහ පාසල් සිසු සිසුවියන් ඇතුළු අමුත්තන් පිරිසක් මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්විය.

(ඡායා : ශානිකා ජයසේකර)

Continue Reading

ඡායාරූප සටහන

ඉන්දියාවෙන් කෘත්‍රිම අත්පා කඳවුරක් (ඡායා)

Published

on

By

ශ්‍රී ලාංකික ප්‍රතිලාභින් 1000 දෙනෙකුට කෘත්‍රිම අත් පා ලබා දීම සඳහා වන කඳවුරක් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ඊයේ (07) ගම්පහ රණවිරු සේවා අධිකාර පරිශ්‍රයේදී සමාරම්භ කරන ලදී. 

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහ ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම කඳවුර කොළඹ සහ වවුනියාවේ දී දෙමසකට ආසන්න කාලයක් පුරා පැවැත්වෙනු ඇති අතර එමගින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිවිල් වැසියන්ට සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ට සෙත සැලසෙනු ඇත. සිවිල් ප්‍රතිලාභීන් සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සහය ඇතිව තෝරා ගන්නා ලදී.

මෙම කඳවුර සඳහා ඉන්දීය රජය සහයෝගය ලබා දෙන අතර එය පවත්වනු ලබන්නේ කායික වශයෙන් අබාධ සහිත අයගේ කායික සහ සමාජ ආර්ථික පුනරුත්ථාපනය උදෙසා කටයුතු කරන ඉන්දීය රාජ්‍ය නොවන සංවිධානයක් වන භග්වාන් මහාවීර් විකලාංග් සහායත සමිතිය (BMVSS) විසිනි. ජයිපූර් නගරය පදනම් කරගත් මෙම රාජ්‍ය නොවන සංවිධානය 1975 දී ආරම්භ කරන ලද අතර එය කෘත්‍රිම අත් පා සහ වෙනත් අවශ්‍ය සහය සම්බන්ධයෙන් ආබාධිත අය සඳහා පවතින ලොව විශාලතම සංවිධානය වේ.

BMVSS සංවිධානය මෙයට පෙර ද එනම් 2010 මාර්තු – අප්‍රේල් වවුනියාවේ දී; 2011 සැප්තැම්බර් යාපනයේදී සහ 2022 පෙබරවාරි කොළඹ සහ යාපනයේදී මෙවන් කඳවුරු පවත්වන ලදී. මෙම කඳවුරුවලින් 3100කට අධික පිරිසකට ප්‍රතිලාභ හිමි වූ අතර 2200කට අධික පිරිසකට ‘ජයිපූර් පාද’ හිමි විය.

සමාරම්භක අවස්ථාව අමතමින් මහ කොමසාරිස් ජා මහතා ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඉන්දියාවේ ගැඹුරු සහ අචල කැපවීම අවධාරණය කළේය. කෘත්‍රිම අත් පා කඳවුර ජනතා ජීවිතවලට දැනෙන සුබවාදී බලපෑමක් සිදු කරීමට ඉන්දියා  – ශ්‍රී ලංකා හවුල්කාරීත්වය ගන්නා අප්‍රතිහත උත්සහය පිළිඹිබු කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved