ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මෙහෙයවන 102 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය වෙනුවෙන්ම ඉතාලියේ පුහුණුවීම් සිදු කරමින් සිටියදී ශ්‍රී ලංකාවට පැමිණි කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඊයේ (26) දියගම ධාවන පථයේදී මීටර් 100 මූලික වටයේ තරගයට සහභාගි වෙමින් සිටියදී ආබාධයකට ලක්වී ඉවතට ගියේය.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ විශාලතම ඔලිම්පික් බලාපොරොත්තුවක් වූ යුපුන් අබේකෝන්ගේ ඔලිම්පික් සිහිනය බොඳවී ගොස් ඇතැයි වාර්තා වේ.
මේ මස 30 වැනිදා ඔලිම්පික් උලෙළට සහභාගි වන ක්‍රීඩකයන් තෝරා අවසන් වන අතර යුපුන්ට තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ඔලිම්පික් අපේක්ෂා අත්හැර දමන්නට සිදුවීම කනගාටුවට කරුණකි.
යුපුන්ගේ ආබාධය හේතුවෙන් මේ 30 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් අපේක්ෂා ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වන අවසන් තේරීම් තරගයට සහභාගිවීමේ අවස්ථාව ද අහිමි වී ගොස් ඇතැයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා මාධ්‍යට පවසා තිබේ.
යම් හෙයකින් ඔලිම්පික් උලෙළට ශ්‍රී ලංකාවෙන් කිසිදු ක්‍රීඩකයකු ඍජු සුදුසුකම් ලබා නොගතහොත් ශ්‍රී ලංකාවේ ක්රීඩකයකුට ‘වයිල් කාඩ්’ ක්‍රමය යටතේ අවස්ථාව ලැබුණ ද, යුපුන් එයට නම් වුවහොත් ඔලිම්පික් තරගාවලියට පෙර ඔහු මීටර් 100 තරගයකට සහභාගි වී යෝග්‍යතාව සනාථ කළ යුතුව ඇතැයි ගුණවර්ධන මහතා පැවැසීය.
මේ අතර ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටින කාන්තා හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ ඊයේ පැවැති තරගයේදී මීටර් 55.77ක දක්ෂතාවක් පෙන්වූවාය.
එහි දෙවැනි තැන ඩී.එච්. මදුවන්ති මීටර් 51.01කින් හා තෙවැනි තැනට පත් ඉමාෂා හසන්ති මීටර් 49.86ක දක්ෂතාවක් දැක්වූවාය.
මේ තත්ත්වය අනුව දිල්හානී ලේකම්ගේ ‘රෝඩ් ටු ඔලිම්පික්’ ශ්‍රේණිගත කිරීමේ පියවර කිහිපයක් ඉදිරියට යනු ඇතැයි ද වාර්තා වේ.
මීටර් 400 මූලික වටයේ තරගවලදී තත්පර 45.97ක දක්ෂතාවක් දැක්වීමට අරුණ දර්ශන සමත් වූ අතර කාලිංග කුමාර මූලික වටයේදී තත්පර 46.33කින් තරගය නිම කළේය.
ආර්.එන්. රාජකරුණා තත්පර 46.37කින් හා පබසර නිකූ තත්පර 46.76ක දක්ෂතාවක් දැක්වූහ.
ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් තරග අද දියගම ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මූලාශ්‍රය – දිනමිණ