විදෙස්

ට්‍රම්ප්ට අධිකරණ තීන්දුවක්

Published

on

2021 ජනවාරි 06 වැනිදා අමෙරිකානු කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදී ජෝ බයිඩන්, ජනාධිපතිවරයා ලෙස තහවුරු කිරීමේ ක්‍රියාවලිය බාධා කිරීම සඳහා ආධාරකරුවන් පෙළඹවීමේ චෝදනාව මත හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණයේ දී කොලරාඩෝ ප්‍රාථමික ඡන්ද විමසීම සඳහා නුසුදුස්සෙකු කරමින් ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී තිබේ.

කොලරාඩෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 07 දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ල 04 ට 03ක් ලෙස එම තීන්දුවට එළැඹී ඇති අතර, අමෙරිකානු ඉතිහාසයේ එවැනි තීන්දුවක් ලබා දී ඇති පළමු ජනාධිපති අපේක්ෂකයා වන්නේ ද ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයායි.

කෙසේ නමුත් 2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වය සඳහා පෙරමුණේ සිටින හිටපු ජනපති ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක කණ්ඩායම කොලරාඩෝ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට එරෙහිව, අමෙරිකානු මධ්‍යම අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා කිරීමට නියමිතයි.

අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු මඩුල්ල අතරින් 06ට 03ක් ලෙස බහුතර බලයක් පවතින්නේ කන්සවේටිව්වරුන්ට වන අතර, ඉන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 03 දෙනෙකු පත්කර ඇත්තේ, හිටපු ජනපති ට්‍රම්ප් විසිනි.

මේ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කොලරාඩෝ අධිකරණ තීන්දුව බලරහිත කිරීමේ වැඩි අවස්ථාවක් පවතින බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

කෙසේ නමුත් අමෙරිකානු මධ්‍යම රජය ශ්‍රේෂ්ඨාධිකරණයේ දී සලකා බැලෙන අභියාචනය 2024 ජනාධිපතිවරණය සඳහා හිටපු ජනපති ට්‍රම්ප් සුදුස්සෙකු ද නුසුදුස්සෙකු ද යන්න තීරණය කෙරෙන නඩු විභාගයක් වනු ඇත.

කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනපති ට්‍රම්ප් ප්‍රාන්තයේ ප්‍රයිමරි නැත්නම් ප්‍රාථමික මැතිවරණ සඳහා නුසුදුස්සෙකු ලෙස ප්‍රකාශයට පත් කළේ, අමෙරිකානු ව්‍යවස්ථාවේ දුර්ලභ ව යොදාගැනෙන වගන්තියක් උපයෝගී කරගනිමිනි.

ඒ, අමෙරිකානු රජයට එරෙහිව කැරලි කෝලාහලවල නිරත වූවන්ට රාජ්‍ය පාලනය සඳහා තේරී පත්වීම වළක්වාලන ව්‍යවස්ථාවේ 14 වැනි වගන්ති ප්‍රකාරවයි.

එම වගන්තිය අමෙරිකානු ව්‍යවස්ථාවට එක්කෙරුණේ, අමෙරිකානු සිවිල් යුද්ධයේ කැරලිකාර කණ්ඩායම්වල සාමාජිකයන් රාජ්‍ය පාලනයට එක්වීම වැළැක්වීමේ අරමුණෙනි.

කොලරාඩෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව බලාත්මක වීම ද 2024 වසරේ ජනවාරි 04 වැනිදා දක්වා කල්දමා ඇත්තේ, ඊට එරෙහිව අභියාචනය කිරීම සඳහා ට්‍රම්ප් කඳවුරට අවකාශ සලසමිනි.

ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව හැඳින්වූයේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි තීන්දුවක් ලෙසයි.

එහෙත් තමන් පක්ෂග්‍රාහී නොවන ලෙසින්, ජනතා ප්‍රතිචාර සැලකිල්ලට නොගෙන, හුදෙක් නීතිමය ආකාරයෙන් සලකා පරීක්ෂාකාරීව එම තීරණයට එළැඹුණු බව කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේය.

කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලබන වසරේ මාර්තු 05 වැනිදා එහි දී පැවැත්වෙන ප්‍රාථමික අපේක්ෂකයන් තේරීමේ මැතිවරණයට පමණක් අදාළ වුවත් ජනාධිපතිවරයා අපේක්ෂකයෙකු ලෙස ට්‍රම්ප්ගේ කීර්ති නාමයට ඉන් යම් බලපෑමක් එල්ල වන බව පැහැදිලිය.

කෙසේ නමුත් අධිකරණය කිසිදු චෝදනා සියල්ල හමුවේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා තවදුරටත් ඉදිරියෙන් සිටින්නේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් බව නොරහසකි.

(අද දෙරණ)

Trending

Exit mobile version