කුලය මත පදනම්ව වෙනස් කොට සැලකීම තහනම් කළ පළමු ඇමෙරිකානු නගරය බවට සියැට්ල් නගරය පත්ව ඇත.
මේ පිළිබඳ ආඥාපනතක් ඊයේ (21) දිනයේදී සියැට්ල් නගර සභාවේ පැවති ඡන්දයකින් සම්මත විය.
මෙම ආඥාපනත සම්පාදනය කිරීමට මූලිකත්වය දී ඇත්තේ සියැට්ල් නගර සභාවේ සිටින, එකම ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකානු ජාතිකයා වන ෂාමා සාවන්ත්ය.
ඇය පවසා ඇත්තේ කුල භේදයට එරෙහි සටන “සියලු ආකාරයේ පීඩා කිරීම් වලට එරෙහි සටනට ගැඹුරින් සම්බන්ධ වන” බවයි.
මීට සහය දැක්වූවන්ද පවසා ඇත්තේ කුල භේදය තවදුරටත් ඇමෙරිකාවේ පැතිරීම වැළැක්වීමට මෙම පියවර ගැනීම අවශ්‍ය බවයි.
කෙසේවෙතත්, ඇතැම් හින්දු ඇමරිකානු කණ්ඩායම් මීට විරෝධය දක්වමින් පවසා ඇත්තේ ඇමෙරිකානු නීතිය යටතේ මේ වන විටත් එවැනි වෙනස්කම් කිරීම තහනම් බැවින්, මෙවැනි පියවර අනවශ්‍ය බවයි.
වසර 3,000කට පමණ ඉහතදී පටන් පවතින ඉන්දීය කුල භේදය 1948දී ඉන්දියාවේද නීත්‍යානුකූලව තහනම් කර ඇති නමුත්, සාමාජීය මට්ටමින් ඉතා දරුණු ලෙස අදටත් පවතියි.