මීට වසර 43කට පෙර එනම් 1982 වසරේ ශ්‍රී දළදා වහන්සේගේ වීඩියෝවක් ලබාගෙන ප්‍රසිද්ධියට පත් කිරීම ගැන තොරතුරු පොලිසියට ඉදිරිපත් කළද ඒ පිළිබඳ විමර්ශනවලට කුමක් වූවාදැයි මේ දක්වා කිසිවකු නොදන්නා බව හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතා කියා සිටී.
තමා එවකට ශ්‍රී දළදා මාලිගාවේ වැඩබලන දියවඩන නිලමේවරයා ලෙස කටයුතු කළ බැවින් එම වීඩියෝ සිද්ධිය පිළිබඳව හා අදාළ පොලිස් පරීක්ෂණ කෙරෙහි උනන්දු වූ නමුත් අද දක්වා එම පරීක්ෂණ කටයුතුවලට සිදු වූයේ කුමක්දැයි පොලිසිය විසින් ශ්‍රී දළදා මාලිගාව හෝ තමන් දැනුවත් කර නොමැති බවද හිටපු දියවඩන නිලමේවරයා සඳහන් කළේය.
එම වකවානුවේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා වූයේ තම පියා වූ ආචාර්ය නිශ්ශංක විජයරත්න බවත්, ඔහු එවකට රජයේ අධිකරණ ඇමැතිවරයා ලෙසද කටයුතු කළ බැවින් වහාම ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරන ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කළ ද මෙතෙක් ගත් කිසිදු නීතිමය පියවරක් දැනුවත් නැති බවත් හෙතෙම කීවේය.
එම අවස්ථාවේ දළදා වහන්සේගේ ඡායාරූප ලබාගෙන ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ විදේශිකයකු බව පසුව ඒ පිළිබඳව සොයා බැලූ තමාට සොයා ගත හැකි වූ බවද හිටපු දියවඩන නිලමේවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙවරද කවරකු විසින් හෝ එවැනිම ආකාරයෙන් ඡායාරූප ගෙන ප්‍රසිද්ධියට පත් කර ඇති අතර ඒ පිළිබඳ වන පොලිස් පරීක්ෂණවලට මීට වසර 43කට පෙර සිදු වූ ඉරණමම අත් නොවේවායි ප්‍රාර්ථනා කරන බවද හෙතෙම කීවේය.
(අරුණ)