ස්ථාන මාරු කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට නියෝග නිකුත් කිරීමේ බලයක් නැති බව දකුණු පළාත් බර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ලිපියක් මගින් ඔහු මේ බව එම අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාට මේ බව දැනුම් දී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීමට බලය ලබා දී ඇත්තේ ජාතික පොලිස් කොමිසමට බව ද අජිත් රෝහණ මහතා පෙන්වා දෙයි.
ඒ අනුව එම නියෝගය පිළිපැදීමට තමන් බැඳී නොමැති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම ලිපියෙන් පෙන්වා දෙයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනකු මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට ඊයේ (25) නියෝග කර තිබුණි.
ජාතික පොලිස් කොමිසමටත් ලිපියක්
මේ අතර, අජිත් රෝහණ මහතා සිය ස්ථාන මාරුව සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යවා තිබේ.
එහි දැක්වෙන්නේ තමාව ස්ථාන මාරුව ද්වේෂසහගත, අසාධාරණ සහ සාධාරණීකරණය කළ නොහැකි ස්ථාන මාරුවක් බවය.
ඔහු සිය ලිපියෙන් පවසන්නේ, “මහජන ආරක්ෂාව භාර අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා මාව නැගෙනහිර පළාත ට මාරු කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බව හෙළිවෙයි. අමාත්‍යවරයාගේ එම තීරණය ද්වේෂසහගත, හිතුවක්කාර සහ සාධාරණීකරණය කළ නොහැකි තීරණයක්,” යනුවෙනි.
අජිත් රෝහණ මහතා පවසන්නේ අමාත්‍යවරයා මෙම සියලුම ද්වේශසහගත දේ කරනු ලබන්නේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට හිරිහැර කිරීමට සහ එක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ව ආරක්ෂා කිරීමට බවය.
එබැවින් තමාගේ ගැටලුව සම්බන්ධයෙන් සලකා බලා තම ස්ථාන මාරුව සම්බන්ධයෙන් ලබාදී ඇති ද්වේශ සහගත නිර්දේශය අනුමත නොකරන්නේ නම් මැනවයි යනුවෙන් අජිත් රෝහණ මහතා ජාතික පොලිස් කොමිසමට යොමුකළ ලිපියෙහි දැක්වෙයි.
අජිත් රෝහණ මහතා විසින් වියානි ගුණතිලක මහතා වෙත හා චන්ද්‍රා ප්‍රනාන්දු මහතා වෙත යොමු කර ඇති සම්පූර්ණ ලිපි ද්විත්වය මෙසේය :