ඕමාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක පැමිණි ලෙබනන ජාතිකයකුගේ අත් බෑගයේ තිබූ රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා ඇමෙරිකානු ඩොලර් 14,000ක මුදලක් ඔහු අසල ගමන් ගත් චීන ජාතිකයකු සොරාගෙන ඇතැයි ගුවන්තොටුපොළ පොලිසිය කියයි.
47 හැවිරිදි ලෙබනන ජාතික ව්‍යාපාරිකයකු සිය මවට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඇය සමඟ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
මෙම ව්‍යාපාරිකයා සහ ඔහුගේ මව මෙම ගුවන් යානයේ ව්‍යාපාරික පංතියේ ආසනවල පැමිණ තිබූ අතර, ඔවුන් සමඟ චීන ජාතිකයකු ඇතුළු තවත් තිදෙනකු ද පැමිණ තිබුණි.
ගුවන් මගීන්ට සුවදායක නින්දකට අවශ්‍ය පසුබිම සකස් කර දීම සඳහා එහි විදුලිය නිවා දමා තිබූ අතර ඒ අවසරයෙන් සැකකරු ලෙබනන ජාතික ව්‍යාපාරිකයාගේ අත් බෑගය විවෘත කර, එහි වූ මුදල් පසුම්බියේ තිබූ ඇමෙරිකානු ඩොලර් 14,000 ක මුදල සොරා ගෙන, ඒ වෙනුවට ඊජිප්තු මුදල් ඒකකයේ පහේ නෝට්ටු 18 ක මිටියක්, එම මුදල් පසුම්බිය තුළට දමා තිබේ.
මේ කිසිවක් නොදත් ලෙබනන ව්‍යාපාරිකයා ගුවන් යානයෙන් බැස ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ වූ බැංකුවක් වෙත පැමිණ සිය ඇමෙරිකානු මුදල් ශ්‍රී ලංකා රුපියල් වලට මාරු කර ගැනීමට යාමේදී මුදල් නොමැති බව දැන ඒ පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ සංචාරක පොලිසිය සහ ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණිළි කිරීමට කටයුතු කර තිබුණි.
සැකකාර චීන ජාතිකයා අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය සහ ගුවන්තොටුපොළ සංචාරක පොලිසිය රාත්‍රී ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
(මූලාශ්‍රය : ලංකාදීප)