මිල්කෝ සේවකයන්ට මේ වසරේදී බෝනස් ගෙවීමට අපහසු තත්ත්වයක් පවතින බව මිල්කෝ සමාගමේ සභාපති හේමජීව ගෝඨාභය මහතා කියයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
ඒ භාණ්ඩාගාරයෙන් ලද චක්‍රලේඛ අනුව පාඩු ලබන ආයතනවලට බෝනස් ලබාදීමේ හැකියාවක් නැති නිසා බවද ඔහු පැවසීය.
මෙම මාධ්‍ය හමුවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා ද සහභාගි විය.
2023 වසරේ මිල්කෝ ආයතනයේ මෙහෙයුම් අලාභය රුපියල් මිලියන 501 ක් බවත්, ඉකුත් වසරේ (2024) අලාභය රුපියල් මිලියන 34 ක් බවද සභාපතිවරයා පැවැසීය.
මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ඈවර කර ඉන්දියානු සමාගමක් සහ දේශීය සමාගමක් ඒකාබද්ධ සමාගමකට බාර දෙන්න සූදානම්ව පැවැති බවත්, ඉකුත් වසරේදී රුපියල් මිලියන 1800 ක බැංකු අයිරාවක් පැවැති බවත්, කිරි ගොවීන්ට හා වෙනත් සැපැයුම්කරුවන්ට තවත් රුපියල් මිලියන 1,200 ක් පමණ ගෙවීමට පැවැති බවත් ඔහු පැවැසීය.
ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදී රුපියල් බිලියන දෙකක ආදායමක් ලබා ගැනීමට ආයතනයට හැකිවූ බවත්, ගොවීන් සැපයූ කිරි සඳහා ගෙවීමට තිබූ හිඟ මුදල වූ රුපියල් මිලියන 500 ගෙවා අවසන් කිරීමට හැකිවූ බවත්, අනෙකුත් සැපැයුම්කරුවන්ට මේ වන විට රුපියල් මිලියන 700 ක් පමණ ගෙවා අවසන් කර තිබෙන බවත් ඔහු කීවේය.