Connect with us

පුවත්

මිහින්තලේ දැවැන්ත වන සංහාරයක්

Published

on

මිහින්තලේ මරදන්කුලම ප්‍රදේශයේ මිහින්තලේ රක්ෂිත වනය නමින් හඳුන්වන ප්‍රදේශයේ අක්කර 18ක් එළිපෙහෙළි කර ඉන් අක්කර 6ක් ගිනි තබා විනාශ කර නීති විරෝධීව අත්පත් කර ගැනීමට උත්සාහ දරන විත්තිකාර ව්‍යාපාරිකයාට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් කංචනා නර්තනා අභිමානි සෙනවිරත්න මෙනෙවිය අනුරාධපුර අඩවි වන නිලධාරි සුමිත් සුවාරිස් මහතාට නියෝග කළාය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන පරිදි අදාළ ප්‍රශ්නගත ඉඩම සඳහා සකස් කර ඇති බලපත්‍ර හතරම ව්‍යාජ ඒවා නම් ඒ සම්බන්ධයෙන් අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ද අතිරේක මහේස්ත්‍රාත්වරිය අඩවි වන නිලධාරි සුමිත් සුවාරිස් මහතාට තවදුරටත් නියෝග කරන ලදී.

අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළේ මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 586 ග්‍රාම නිලධාරි තුලානේ පිහිටි මරදන්කුලම ප්‍රදේශයේ මිහින්තලේ රක්ෂිත වනය නමින් හඳුන්වන ප්‍රදේශයේ අක්කර 18ක් නීති විරෝධීව එළිපෙහෙළි කර ඉන් අක්කර 6ක් ගිනි තබා විනාශ කර අදාළ රක්ෂිත භූමිය නීති විරෝධීව අත්පත් කර ගැනීමට උත්සාහ දරන බවට විත්තිකාර ව්‍යාපාරිකයකුට එරෙහිව අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින බී/123/2024 අංක දරන නඩුව අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර අඩවි වන නිලධාරි සුමිත් සුවාරිස් මහතා කියා සිටියේ මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිහින්තලේ මරදන්කුලම පිහිටි මිහින්තලේ රක්ෂිත වනය නමින් හඳුන්වන ප්‍රදේශයේ අක්කර 18ක භූමියක් විත්තිකාර ව්‍යාපාරිකයා විසින් නීති විරෝධීව අල්ලාගෙන ඉන් අක්කර 6ක් ගිනි තබා විනාශ කර ඇති බවයි.

එකී භූමිය සඳහා තමන්ට බලපත්‍ර 4ක් ඇති බව පවසමින් විත්තිකරු බලපත්‍ර 4ක් ඉදිරිපත් කර ඇති බව ද අධිකරණයට කියා සිටි අඩවි වන නිලධාරිවරයා එකී බලපත්‍රවල නීත්‍යනුකූලභාවය සම්බන්ධයෙන් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ලිඛිතව විමසීමක් කළ බව ද කියා සිටියේය. 

විත්තිකරු විසින් ඉදිරිපත් කර ඇති බලපත්‍රවලට අදාළ කිසිදු සටහනක් හෝ ලේඛනයක් මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතුව නැති බව මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් එන්.බී.ජේ.ඒ. නායක බණ්ඩාර මහතා වෙනුවෙන් සහකාර ප්‍රාදේශීය ලේකම් එම්.එම්.කේ. චන්ද්‍රගුප්ත මහතා වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිඛිතව දන්වා ඇති බව ද අඩවි වන නිලධාරිවරයා ප්‍රකාශ කළේය.

විත්තිකරු විසින් ඉදිරිපත් කර ඇති බලපත්‍ර 4 අතුරින් එක් බලපත්‍රයකට තබා ඇති අත්සන අනුරාධපුර හිටපු මහ දිසාපති ටී.කේ. දසනායක මහතාගේ බව කියන අත්සනක් බව ද අධිකරණයට ප්‍රකාශ කළ අඩවි වන නිලධාරිවරයා එකී අත්සන ද අනුරාධපුර හිටපු මහ දිසාපති ටී.කේ. දසනායක මහතාගේ නොවන බවට මිහින්තලේ හිටපු ප්‍රාදේශීය ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිඛිතව දන්වා ඇති බව ද අවධාරණය කළේය. 

ඒ අනුව විත්තිකරු විසින් ඉදිරිපත් කර ඇති ඉඩම් බලපත්‍ර හතරම ව්‍යාජව සකසන ලද කූට ඒවා බවට සැක කරන්නේ යැයිද? අඩවි වන නිලධාරිවරයා කීවේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ව්‍යාපාරිකයා දැනට අධිකරණය මඟින් ඇප මත මුදාහැර සිටී. මෙසේ ඇප මත මුදාහැර සිටිනුයේ අනුරාධපුර තම්මැන්නාකුලම ඉසුරුපුර අංක 246/20 ලිපිනයේ ඔලුපොතගේ සුමින්ද සේනාධීර නමැත්තෙකි. 

පැමිණිල්ල වෙනුවෙන් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් මහතාගේ උපදෙස් මත අනුරාධපුර අඩවි වන නිලධාරි සුමිත් සුවාරිස් මහතා පෙනී සිටි අතර, විත්තිකරු වෙනුවෙන් නීතිඥ සුසිල් සිරිවර්ධන මහතා පෙනී සිටියේය. 

අනුරාධපුර අඩවි වන නිලධාරි සුමිත් සුවාරිස් මහතාගේ මෙහෙයවීම මත අනුරාධපුර අතිරේක අඩවි වන නිලධාරි චින්තානි ගුණසේකර මහත්මිය මිහින්තලේ බීට්ටු වන නිලධාරි චමින්ද ඒකනායක, බීට්ටු වන නිලධාරින් වන කේ.එම්. තුෂාර නලින්ද, වන ක්ෂේත්‍ර සහකාර එච්.බී. සුගත් යන මහත්වරුන් සහ විශේෂ කාර්ය බළකා කඳවුරේ අණ දෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.ඒ.එස්. බුලත්සිංහල මහතා ඇතුළු විශේෂ බළකා නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර තිබිණි. 

මෙම නඩුව ලබන ජුනි මස 26 වැනිදා යළි කැඳවීමට නියමිතය.

(dinamina.lk)

පුවත්

ලංකාවේ පැරණිතම කම්කරු රැලියක් මෙවරත්

Published

on

By

අද (01) දිනයට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ජාතික ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයේ කම්කරු රැලිය සහ කම්කරු පූජාව අද උදෑසන පැවැත්වුණි.

මෙරට පැවැත්වෙන පැරණිතම රැලියක් වන එය මෙවර පැවැත්වූයේ 64 වැනි වරටයි.

කොල්ලුපිටිය පොල්වත්ත ශාන්ත මයිකල් දේවස්ථානයේ අද දිනයේ පැවැත්වුන ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයේ කම්කරු රැලිය සහ කම්කරු පූජාව වෙනුවෙන් විශාල පිරිසක් එක්ව සිටියහ.

වතු, ධීවර, කම්කරු, ඇඟලුම් ආදී ක්ෂේත්‍ර  නියෝජනය කරන පිරිස් සහභාගී වූ  කම්කරු රැලිය දේවස්ථාන අවට පරිශ්‍රයේ  සංචාරය කිරීමෙන් පසු  කම්කරු පූජාවට එක් වූහ.

කම්කරු රැළියට හා සර්වාගමික පූජාවට කොළඹ දියෝකීසීයේ රදගුරු දුශාන්ත රුද්‍රිගු පියතුමා, කුරුණෑගල රදගුරු නිශාන්ත ප්‍රනාන්දු පියතුමා,ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ මහ ලේකම් සුජිත සිවනායගම් පියතුමා, කැළණිය විශ්ව විද්‍යාලයේ  බාහිර කථිකාචාර්ය කැකිරාවේ සුදස්සන හිමි,  අල්හාජ් මුනීර් මවිලවිතුමා ද එක් වූහ.

කම්කරු පූජාවේ ප්‍රධාන දේශනය රොහාන් සිල්වා පියතුමා සිදු කළේය.

Continue Reading

පුවත්

විපක්ෂ දේශපාලඥයෙක්ට මත්පැන් බලපත්‍රයක්

Published

on

By

විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයෙක් විසින් ආණ්ඩුවෙන් මත්පැන් බලපත්‍රයක් ලබාගෙන තිබේ.

ඒ මහියංගනය රිදීමාලියද්ද නගරයේ මත්පැන් අලෙවිසලක් විවෘත කිරීම වෙනුවෙනි.

විස්වසනීය ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කරන්නේ ඔහු මේ බලපත්‍රය ලබාගෙන ඇත්තේ තම පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ බිරියගේ නමට බව ය.

එමෙන්ම ඇය  බිබිල ප්‍රාදේශීය සභා අපේක්ෂිකාවක් බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් රිදීමාලියද්ද ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති අලුකැටියාවේ සීලවංශ නාහිමියන්ගෙන් කළ විමසුමකදී උන්වහන්සේ පැවැසුවේ, ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකුගේ මැදිහත්වීමෙන් මෙම මත්පැන් බලපත්‍රය ලබාදී ඇති බවට තොරතුරු අනාවරණයවී ඇති බවයි.

එමෙන්ම මේ ගැන උන්වහන්සේ විසින්  ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දැනටමත් පැමිණිලි කර ඇති බවද සඳහන් කරන ලදී.

වැඩිදුරටත් අදහස් දැක්වූ සීලවංශ නාහිමියන් පෙන්වා දුන්නේ, රිදීමාලියද්ද යනු ලංකාවේ දෙවැනියට දුප්පත්ම නගරය බවත් මෙවැනි නගරයකට අවශ්‍ය වන්නේ ජනතාව දුප්පත්කමින් ගොඩදාන මාර්ගයක් මිස මත්පැන් අලෙවිසල් නොවන බවත් ය.

Continue Reading

කලා

එජාප මැයි රැලි සංගීතයට ගායක ගායිකාවන් ඉන්දියාවෙන්; සංගීතේ ශේන් සිංගෙන්

Published

on

By

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලියට සමගාමීව සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සඳහා ඉන්දීය ගායක ගායිකාවන් පිරිසක් ඊයේ (30) මෙරටට පැමිණ තිබිණි.

මෙම සංගීත ප්‍රසංගය අද (01) රාත්‍රි 07.00 සිට මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය. 

එහි ගීත ගායනා කිරීම සඳහා විජේ බාලක්‍රිශ්ණන්, රම්‍යා නාගර්කෝවිල්, ඩැනියෙල් ජෙයරාම් සහ රෙෂ්මා සුන්දරම් ආදි ගායන ශිල්පීන් පැමිණ ඇත.

ඊට අමතරව ඉන්දීය සංගීත ශිල්පීන් වන ධර්මර් සත්‍ය ප්‍රකාශ් සහ නුරානි වර්ෂා ද මෙම ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සඳහා අද (01) මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ශේන් සිං ප්‍රමුඛ ‘ලයින්වන්’ සංගීත කණ්ඩායම ඊට සංගීතය සපයන අතර අදාළ ප්‍රසංගය නොමිලේ පැවැත්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved