Connect with us

පුවත්

රටපුරා ඉඩම් ගැටලු විසඳන්න කමිටු 8ක්

Published

on

ඉඩම් ගැටලු නිරාකරණය කිරීමට පළාත් මට්ටමින් කමිටු 08ක් පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ අනුව උතුරේ සහ දකුණේ සියලු ඉඩම් ගැටලු නිරාකරණය කිරීමට හැකිවනු ඇතැයි ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (19) පෙරවරුවේ වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.

උතුරු පළාතේ වව්නියාව, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්ක තුන ආවරණය වන පරිදි මෙම සංවර්ධන කමිටු රැස්වීම කැඳවා තිබූ අතර එම දිස්ත්‍රික්කයන්හි මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීහු මීට එක්ව සිටියහ.

පළාතේ ඉඩම්, නිවාස, සෞඛ්‍ය, වාරිමාර්ග සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍රයන්හි මතුව ඇති ගැටලු හා ඒවාට ලබාදිය හැකි විසදුම් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

උතුරු පළාතේ විවිධ ක්ෂේත්‍රයන්හි මතුව ඇති ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙමින් එම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට පියවර ගන්නා බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා උතුරු පළාතේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහාය ද අපේක්ෂා කරන බව සඳහන් කළේය.

මෙතෙක් විසඳුම් ලැබී නොමැති ගැටලු රැසක් උතුරේ පවතින බවත් සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරමින් ඒවාට අවශ්‍ය විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

1994 සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි කළ දෙමළ ජනතාවට තවමත් ඉඩම් ලබා නොදීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළේය.

සෙට්ටිකුලම  ප්‍රදේශයේ ඉඩම් ගැටලුව මාස 03ක් ඇතුළ විසඳීමට මැදිහත්වී කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා වව්නියාව දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දුන් අතර ඒ පිළිබඳව අධිකරණ අමාත්‍යංශයෙන් සහ ඉඩම් අමාත්‍යාංශයෙන් කරණු විමසීමක් සිදු කිරීමට කටුයුතු කරන බව ද පැවසීය.

මුලතිව් දිස්ත්‍රික්කයේ ඇතැම් ගොවි බිම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරාගෙන තිබීම හේතුවෙන් මතුව ඇති ගැටලු කෙරෙහි ද අවධානය යොමු කෙරිණි.  

උතුරු පළාතේ ජනතාවගේ නිවාස ගැටලුව කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර උතුරු  පළාතේ දිස්ත්‍රික්ක තුනෙහි ජනතාවට  අවශ්‍ය නිවාස ලබාදීම සඳහා ක්‍රියාත්මක කළ ව්‍යාපෘති විවිධ අදියරවල පවතින බවත්, ඒ සඳහා තවත් රුපියල් මිලියන තුන්දහසක් පමණ අවශ්‍යව ඇති බවත් නිලධාරීහු පෙන්වා දුන්හ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ නිවාස ව්‍යාපෘති රැසක් මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වන බවත් උතුරේ ජනතාවගේ නිවාස ගැටලුවට ද  කඩිනම් විසඳුම් ලබාදීමට තමා අපේක්ෂා කරන බවයි.

වව්නියාව වැව සහ තිරික්කුලම් වැව ආශ්‍රිතව ජීවත්වන ජනතාවගේ අවශතා පිළිබදව  පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන් මහතා මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළේය.

දිස්ත්‍රික්කයේ වැව් ප්‍රතිසංස්කරණය, පොහොර ගැටලුව විසඳීම සහ බෙදාහැරීමේ කටයුතු විධිමත් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

උතුරු පළාතේ සෞඛ්‍ය ගැටලු සහ වෛද්‍යවරුන්ගේ හිඟය පිළිබඳව ද අවධානය යොමු වු අතර ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් අවශ්‍ය විසඳුම් ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 

මන්නාරම දිස්ත්‍රික්කයේ ධීවරයන්ට  භූමිතෙල් ලබා දීමේදී  සිදුවන විවිධ අක්‍රමිකතා  පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා කරුණු පැහැදිළි කළ අතර ඒ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

ධීවර අමාත්‍ය  ඩග්ලස් දේවානන්ද ,නාගරික සංවර්ධන නිවාස රාජ්‍ය අමාත්‍ය  තේනුක විදානගමගේ, ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙක්කලනාදන්, රිෂාඩ් බදුර්දීන්, චාල්ස් නිර්මලනාදන්, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජ්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන  මහත්ම මහත්මීහු ද වව්නියාව, මන්නාරම  සහ මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

මෙරට විද්වතෙකු වන මහාචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 79 වියේ පසු විය.

ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වන ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වූ අතර විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද උසුලා තිබුණි.

ඊට අමතරව ඔහු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සාමාජිකයෙකුද විය.

මීට අමතරව, ද සිල්වා මහතා මියන්මාරයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද කටයුතු කළේය.

Continue Reading

පුවත්

“කටුනායක සිද්ධියට අදාල සමාගම ඉන්දීය එකක් නෙමෙයි”

Published

on

By

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වීසා නිකුත් කිරීමේ කටයුතු ඉන්දියානු සමාගම් භාරයට ගෙන ඇති බවට වන මාධ්‍ය විමසීම් සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

“කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වීසා නිකුත්කිරීමේ කටයුතු ඉන්දියානු සමාගම් භාරයට ගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍යයන් තුළ පළවන වාර්තා සහ අදහස් අපි දුටුවෙමු…මෙම වාර්තාවලින් දැක්වෙන සමාගම් ඉන්දියාවේ පිහිටා ඇති සමාගම් හෝ ඉන්දීය සමාගම් නොවන අතර ඒවායේ මූලස්ථාන වෙනත් ස්ථානයන්හි පිහිටා ඇත. මෙම සන්දර්භය තුළ ඉන්දියාව පිළිබඳ සඳහන් කිරීම පදනම් විරහිත වේ,” යැයි එම නිවේදනයෙන් දැක්වේ.

Continue Reading

පුවත්

වරායෙන් වාර්තාවක්

Published

on

By

ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම වසරේ පළමු කාර්තුවේදී වාර්තාගත බහාලූ මෙහෙයුම් ධාරිතාවක් ලබාගෙන ඇතැයි එම අධිකාරිය පවසයි

පසුගිය වසරේ පළමු කාර්තුවේදී  බහාලු  මෙහෙයුම් ප්‍රමාණය441,032 කි. මෙම වසරේ ප්‍රමාණය 652766කි. එහි වර්ධනය ප්‍රතිශතයක් ලෙස  සියයට 48කි.

මෙම වසරේ පළමු මාස තුන තුළදී ප්‍රතිනැව්ගත කළ බහාලු ප්‍රමාණය 582403ක් වන අතර එය පසුගිය වසරේ මෙම කාලසීමාවට අනුව සාපේක්ෂව සියයට 49.81,ක් බව එම අධිකාරියේ සන්නිවේදන හා ජන සම්බන්ධා කොට්ඨාසයේ ප්‍රධාන කළමනාකරු චිත්‍රාල් ජය වර්ණ මහතා පැවසීය.

(ලංකාදීප )

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved