විදෙස්

තෙවැනි වරටත් ෂී ජින්පින් බලයට ; චීනය තවදුරටත් ලෝකයට විවෘත වන බව කියයි (වීඩියෝ)

Published

on

චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් ෂී ජින්පින් මහතා තෙවැනි වරටත් තේරී පත්වී තිබේ.

මේ පිළිබඳව අද (23) පෙරවරුවේ බීජිං හි පැවති මාධ්‍ය හමුවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරුණි.

ඊට අමතරව, ඔහු CPC පක්ෂයේ මධ්‍යම හමුදා කොමිසමේ සභාපතිවරයා ලෙසද තෝරා පත්කරගෙන තිබේ.

අද දින මාධ්‍ය හමුව අමතමින් චීන ජනාධිපතිවරයා පැවසුවේ, ලෝකයට චීනයේ දොරටු තවදුරටත් විවර කරන බවත්, ඉදිරියේදී ගැඹුරු ප්‍රතිසංස්කරණ සිදුකිරීමට දිගටම කටයුතු කරන බවත්ය.

චීනයට ලෝකයෙන් හුදෙකලා වී දියුණු විය නොහැකි සේම, සංවර්ධනය සඳහා ලෝකයටද චීනය අවශ්‍ය බවත්, පසුගිය වසර 40 ක් පුරාවට නොනැවතුනු ප්‍රතිසංස්කරණ ඔස්සේ චීනයේ අදහාගත නොහැකි වේගවත් ආර්ථික වර්ධනයක් සහ දිගුකාලීන සමාජ ස්ථාවරත්වයක් නිර්මාණය වී ඇති බවත් ෂී මහතා පැවසීය.

විශාල ඔරොත්තු දීමේ හැකියාවක් හා විභවයක් ඇති චීන ආර්ථිකයේ ශක්තිමත් මූලිකාංග වෙනස් නොවනු ඇති බවත්, එය දිගු කාලීනව ධනාත්මක මාවතක ඔස්සේ පවතිනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

පසුගිය දින පුරාවට චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) 20 වැනි ජාතික කොංග්‍රසය පැවැත්වුණු අතර, එහිදී අලුතින් තේරී පත්වූ මධ්‍යම කාරක සභා සභිකයින්ද මෙම මාධ්‍ය හමුවට එක්විය.

(CPC 20 වැනි ජාතික කොංග්‍රසය පුරාවටම, ‘Sri Lanka Mirror’ හි විශේෂ වාර්තාකරු ලෙස අප ප්‍රධාන කර්තෘ කැළුම් ශිවන්ත මහතා බීජිං අගනුවර සිට එම කොංග්‍රසය විස්තරාත්මක ලෙස ආවරණය කළ අතර, අප මාධ්‍ය සහකරු වන CCTV+ රූපවාහිනී සේවය ඔස්සේ මෙහි සජීවී දසුන්ද ඔබ හමුවේ තැබීමට අපි සමත් වීමු.)

– කැළුම් ශිවන්ත බීජිං සිට

(වීඩියෝ : CCTV +)

Trending

Exit mobile version