Connect with us

ක්‍රීඩා

“මේ වසරේ ක්‍රිකට් ක්‍රීඩාවට රජය රුපියල් බිලියනයක් දෙනවා”

Published

on

ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු බවට පත්වනු දැකීම තම අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සියලු දායකත්වය ලබාදෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

එසේම දේශපාලනය සහ ක්‍රීඩාව වෙන්කර තබා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශපාලනඥයන්ට ක්‍රීඩා සමාජවල ඉහළ තනතුරු ලබාදීමෙන් වැළකි සිටිය හැකි නම් එය යහපත් තත්ත්වයක් වනු ඇතැයි තමා විශ්වාස කරන බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (28) පස්වරුවේ කොළඹ පැවති සිංහල ක්‍රීඩා සමාජයේ 125 වන සංවත්සර සැමරුමට එක් වෙමිනි.

සිංහල ක්‍රීඩා සමාජයේ වසර 125ක ඉතිහාසය සටහන් කෙරුණු සුවිශේෂී ග්‍රන්ථයක් එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරුණු අතර එයට සමගාමීව තැපැල් මුද්දරයක් සහ මුල්දින කවරයක් ද නිකුත් කෙරිණි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එදා මෙදාතුර ශ්‍රී ලංකා පිලට නායකත්වය දුන් එස්එස්සී ක්‍රීඩකයන් ඇගයීමට ලක් කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු වූ අතර ජනාධිපතිවරයා ඔවුන් සමඟ සමූහ ඡායාරූපයකටද එක් විය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය,

“රාජකීය, ශාන්ත තෝමස්, වෙස්ලි වැනි පාසල්වලින් ක්‍රිකට් ක්‍රිඩාවට එක්වුණු සියලුදෙනාම අද මෙහි පැමිණ සිංහල ක්‍රීඩා සමාජය සමඟ සිය අනන්‍යතාව තහවුරු කර තිබෙනවා. ඒ වගේම තමයි, මගේ මීමුත්තණුවන් වූ මීදෙණිය අදිකාරම්, මගේ සීයා වුණු සී.එල්. වික්‍රමසිංහ ඇතුළු එම යුගයේ සිටි බෙහෝ දෙනෙක් සිංහල ක්‍රීඩා සමාජයට සම්බන්ධ වුණේ ඔවුන්ට ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් ඇති කර ගැනීමට අවශ්‍ය වූ නිසයි. නිදහස ලැබුණු පසු මගේ පියාත් මීට සම්බන්ධ වුණා. එදා අප මේ අයුරින් ක්‍රිඩා සමාජ ඇති කරගත්තා. දෙමළ ජනයා දෙමළ ක්‍රීඩා සමාජ නිර්මාණය කළා. ඒ ජනවාර්ගික ගැටුමක් උදෙසා නොවෙයි. නමුත් විවිධ කණ්ඩායම් මේ තුළින් තමන්ට අනන්‍යතාවයක් ලබාගැනීමට උත්සාහ කළා. ඒ ආගම හෝ කුලය මත නොවෙයි, භාෂාව සහ සංස්කෘතිය මතයි. මැලේ ජාතිකයින්ට පවා ඔවුන්ගේම ක්‍රීඩා සමාජයක් තිබුණා. ඒ සමඟ සිංහල, දෙමළ, මැලේ, සියලුදෙනාම එක්වුණා වගේම පසු කාලෙක එම සියලුදෙනා එක්ව පොදු අනන්‍යතාවයක් ලබා ගත්තා.”

“සිංහල ක්‍රීඩා සමාජයේ හිටපු සභාපතිවරුන් අතර අප පක්ෂයේ නායකයන් ද කටයුතු කර තිබෙනවා. ඩී.එස්. සේනානායක මැතිතුමා මෙන්ම හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ද එවකට මෙහි සභාපතිවරු ලෙස කටයුතු කළා. එය අපට විශාල ගෞරවයක් බව කිවයුතුයි. පසුව මමත් ඔබගේ ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙකු ලෙස සම්බන්ධ වුණා. නමුත් දේශපාලනඥයකු ලෙස මම තීරණය කළා එයින් ඉවත්විය යුතුයි කියලා. අද පවතින දේශපාලනය ඩී.එස්.සේනානායක මැතිතුමාගේ හෝ ජේ.ආර්.ජයවර්ධන මැතිතුමාගේ පාලන සමයේ පැවති දේශපාලනය නොවෙයි.”

“දේශපාලනඥයන්ට ක්‍රීඩා සමාජවල ඉහළ තනතුරු ලබා දීමෙන් වළකිනවා නම්, එය අප සියලුදෙනාටම යහපත් තත්ත්වයක් වනු ඇතැයි මා විශ්වාස කරනවා. මොකද දේශපාලනයත්, ක්‍රීඩාවත් එකිනෙකට වෙන් කර තබා ගැනීම ඉතා වැදගත් වගේම කාලෝචිත බව කිවයුතුයි. ක්‍රීඩාවෙන් අප ඈත්ව සිටින බව ඉන් අදහස් වන්නේ නැහැ. අප ඔබගේ අවශ්‍යතා පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් පසුවෙනවා. ඒ වගේම අපේ නායකයන් විසින් පවත්වාගෙන ආ සම්ප්‍රදායන් අප ඉදිරියට ගෙන යා යුතුයි. ඒ නිසා සිංහල ක්‍රීඩා සමාජයට අයත් භූමිය 99 අවුරුදු බදු පදනම මත ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලෙස මම ක්‍රීඩා ඇමැතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.”

“ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳවත් මෙහිදී යමක් ප්‍රකාශ කිරීමට මම කැමතියි. අප ශ්‍රී ලංකා ක්‍රිකට් රැක ගත යුතුයි. ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමුඛයෙකු වනු දැකීම මගේ අපේක්ෂාවයි. මේ වසරේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් රජය රුපියල් බිලියනයක මුදලක් වෙන් කර තිබෙන අතර ලබන වසරේ ඊටත් වඩා වැඩි මුදලක් ලබාදීමට කටයුතු කරන බව කිව යුතුයි. එම මුදල් ඔබගේ ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙකු වන සිදත් වෙත්තමුණි මහතා යටතේ වන භාරයකින් පවත්වාගෙන යනු ඇති අතර ග්‍රාමීය පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරමින් ක්‍රිකට් තරග පැවැත්වීමට වගේම ග්‍රාමීය මට්ටමින් හොඳ ක්‍රිකට් ක්‍රීඩාවක් ඇති කිරීමටත් එමඟින් කටයුතු කෙරෙනවා. අප පාසල් 1000-1500 අතර ප්‍රමාණයක ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කළ යුතුයි. එවිට ජාතික කණ්ඩායමට අවශ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙන් පුළුල් සංචිතයක් නිර්මාණය වෙනවා. ඒ වගේම රට තුළ ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට අප පියවර ගෙන තිබෙනවා. මෙම කටයුතුවලදී ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ ක්‍රීඩා සමාජ සතුව මහඟු වගකීමක් පැවරෙනවා. ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේ ලොව ප්‍රමුඛයෙකු බවට පත් කිරීමට අප සියලුදෙනා එක්ව කටයුතු කරමු කියා ඉල්ලා සිටිමින්, මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිංහල ක්‍රීඩා සමාජය ලබා දෙන දායකත්වයට ස්තූති කිරීමට ද මා මෙය අවස්ථාවක් කර ගන්නවා.”

ක්‍රීඩා

ආසියානු රග්බි ශූරතාවලිය අද ශ්‍රී ලංකාවේදී ආරම්භ වේ

Published

on

By

2024 ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාවලිය ශ්‍රී ලංකාවේදී අද (30) ආරම්භ වේ.

මෙම තරගාවලියට ඉන්දියාව, කසකස්ථාන, කටාර් සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගී වනු ඇත.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ සුහිරු ඇන්තනි විසිනි.

තරගාවලියේ සියලු තරග කොළඹ තුරඟ තරඟ  පිටියේදී පැවැත්වෙන අතර පළමු තරඟය කටාර් සහ කසකස්ථාන කණ්ඩායම් අතර අද සවස 4.00ට ආරම්භ වීමට නියමිතය.

සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ජාත්‍යන්තර රග්බි තරගාවලියක් ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන්නේ වසර 11කට පසුවයි.

Continue Reading

ක්‍රීඩා

ආසියානු ශූරයන් නැවත දිවයිනට 

Published

on

By

වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය පසුගියදා ඩුබායිහි දී අතිඋත්කර්ෂවත් ලෙස අවසන් වූ අතර තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) අලුයම නැවත දිවයිනට පැමිණියහ.

ආසියානු කුසලාන මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම රිදි පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් ඇතුළුව සමස්ත පදක්කම් 05ක් දිනා ගැනීමට සමත් විය.

එහිදි ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම කාන්තා තුන්පිම්ම ඉසව්වෙන් රිදී පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ නෙත්මිකා මධුෂානි සමත් වූ අතර, මීටර් 400 ×4 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වෙන්ද රිදී පදක්කමක් දිනා ගැනීමට ද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණි.

පිරිමි මීටර් 100 සහාය දිවීම ඉසව්වේ රිදි පදක්කම ද, කාන්තා මීටර් 400 සහාය දිවීමේ ඉසව්වේ සහ පිරිමි මීටර් 400 සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට හැකිවූ අතර,

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 17 එක්ව සිටියහ.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා පිල ස්කොට්ලන්තයත් පරදවයි

Published

on

By

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ස්කොට්ලන්තයට එරෙහිව පැවති තරගය ශ්‍රී ලංකාව කඩුලු 10කින් ජය ගැනීමට සමත් විය.

අබුඩාබිහිදී පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 18.1කදී ලකුණු 94ක් රැස් කිරීමට සමත් විය.

ලකුණු 95ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 10.1කදී කිසිවකු නොදැවී නියමිත ඉලක්කය පසු කළහ.

කවීෂා දිල්හාරි ලකුණු 13ට කඩුලු 4ක් දවා ගත්තාය.

ඉනෝෂි ප්‍රියදර්ෂණී කඩුලු 3යි.

නායක චමරි අතපත්තු නොදැවී ලකුණු 59යි.

විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 24ක් රැස් කළා ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved