Connect with us

විශේෂාංග

අපි තමයි “ලංකා විසම්මුතිය”

Published

on

දැන් අපි මේ ඉන්නේ විසම්මුති එතරම් නැති, “ආණ්ඩු විරෝධය” උත්සන්නවන යුගයක. ඒ නිසා මේ යුගයේ ආණ්ඩු විරෝධි ප්‍රකාශන වැඩිමනත් හමුවෙන්නේ සමාජ මාධ්‍ය ජාලවල, යූටියුබ් කතාවල සහ විවිධාකාරයෙන් හා තොග ගණනින් පළ කෙරෙන වෙබ් පුවත් පිටුවල. ඒ නිසා දැන් ආණ්ඩුව පැත්තෙන් සමාජ මාධ්‍ය ජාල පාලනය කිරීමේ වැඩි වුවමනාවක් පෙන්වන ප්‍රකාශ කෙරෙනවා.

තොරතුරු තාක්ෂණයේ සන්නිවේදන විවිධත්වය දැන් අතිශය සරළ භාවිත සඳහා වර්ධනය කෙරෙන්නේ කුඩා ස්මාට් ෆෝන් වලටත් අදාලවයි. ස්මාට් ෆෝන් සාමාන්‍ය ජංගම දුරකතන බවට පත්වෙලා තියෙන්නේ. ඒ නිසා විරෝධතා, හෙළා දැකීම්, හෙළිදරුව් කිරීම් කෙළවරක් නැතිව පළ කෙරෙන්නේ ෆේස්බුක්, ට්විට, ඉන්ස්ටග්‍රම්, ටික්ටොක්, වගේ අන්තර්ජාල මෙවලම් යොදා ගෙනයි. ඒවයේ නිර්නාමිකව හෝ ව්‍යාජ අනන්‍යතා සමග පෙනී සිටිය හැකි නිසා වගේම තමන්ගේ පුද්ගල ප්‍රකාශ සඳහා සාම්ප්‍රදායික මාධ්‍ය තුල වැඩි ඉඩක් නොමැති නිසා පුද්ගල ප්‍රකාශකයින් බහුතරයක් ගොඩ වෙන්නේ එවැනි අන්තර්ජාල සන්නිවේදන වේදිකා වලටයි.

මම මේ කතා කරන්න යන්නේ එවැනි බොහෝ දේ නොදන්නා, නොතිබුණ යුගයක, ආණ්ඩු විරෝධය සමග විසම්මුතියත් ප්‍රධාන කතාවක් කරගත් අත්දැකීමක් ගැනයි.

මේ හරියටම අවුරුදු 16 ට කලින් ආරම්භ වුන කතාවක්. මම දිනය මතක තියාගෙන ඉන්නේ 07.07.07 හැටියට. එදා තමයි Lanka Dissent (ලංකා ඩිසෙන්ට්) වෙබ් පුවත් අඩවිය අන්තර්ජාලයේ පළ කෙරුවේ. ප්‍රධාන ධාරාවේ පුවත්පත්වල සහ ජනප්‍රිය රූපවාහිනි හා ගුවන් විදුලි නාලිකාවල හමු නොවන ප්‍රවෘත්ති පළ කරන, යම් ආණ්ඩු විරෝධයක් සහිත වෙබ් පුවත් අඩවියක් ආරම්භ කිරීමේ අදහස, යහපාලන ආණ්ඩුව කාලයේ ඉතා දරුණු මාධ්‍ය සත්වයෙක් හැටියට පුවත් පතක “වෙබ් අඩවි ගොඩ් ෆාදර්” කියලා නම පටබැඳුව රුවන් ෆර්ඩිනැන්ඩස්ගෙ අදහසක්. නමුත් ඒ අදහසට දේශපාලන අර්ථයක් ඇතිව දිසානිතිය තීන්දු වුනේ දීප්ති ගුණරත්නගේ මැදිහත්වීමෙන්. වෙබ් පුවත් අඩවියට Lanka Dissent කියන නම දුන්නෙත් දීප්ති. ඉතිරි සංවිධානාත්මක වැඩ, සම්පත් ගොනු කිරීමේ වගකීම, වැඩි කතා බහක් නැතිව උදේ හවස කෙරුණේ රුවන්ගෙන්.

මම හවුල් වෙන්නේ රුවන්ගේ ඉල්ලීමට අමතරව, එවැනි මාධ්‍ය මැදිහත්වීමක අවශ්‍යතාවක් මටත් දැනුණ නිසයි. ආරම්භයේදී කර්තෘ වශයෙන් වගකීම් භාර ගත්තේ ගාමිණි වියන්ගොඩ. මට මතක හැටියට, ආරම්භක මාධ්‍යවේදීන් කිහිපදෙනා වුනේ ඉන්දික, කැළුම්, තාරක, සහ ශානි. ඒ අතරින් සාම්ප්‍රදායික මාධ්‍ය අත්දැකීමක් තිබුණේ ලක්බිම පුවත්පතේ ක්‍රීඩා තොරතුරු වාර්තා කළ කැළුම්ටයි. උපාධිය සම්පූර්ණ කර පැමිණි ශානි, එෆ්.එම් ගුවන් විදුලි නාලිකාවක අර්ධකාලීනව සේවය ආරම්භකර තිබූ ලා බාල තරුණියක්. තාරක මට මතක විදියට සිරස ආයතනයේ ඉංග්‍රීසි පරිවර්තන වැඩ කළ කෙනෙක්. ඉන්දික ඇත්තටම දේශපාලන සත්වයෙක්.

ඊට අමතරව ප්‍රවෘත්ති ලබා දෙන බාහිර මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුත් හිටියා. ඒ අය වැඩියෙන් ගනුදෙනු කෙරුවේ රුවන් හරහායි. වෙබ් අඩවියේ තාක්ෂණික කටයුතුත් රුවන්ගේ සම්බන්ධකම් මත තමයි කෙරුණේ. ඒ කාලයේ අපිට ඕනේ විදියට වෙබ් පිටු සැළසුම් කරන්න, වෙනත් පිටු අමුණන්න, පරණ පුවත් නැවත කියවිය හැකි ලෙස සංරක්ෂණය කරන්න, ඡායාරූප ඇතුළත් කරන්න තාක්ෂණය දන්නා මාධ්‍යවේදීන් අපට හිටියේ නැහැ. තාක්ෂණ ශීල්පීන්ගේ සහාය ඒ නිසා බාහිරින් ලබා ගත්තක්. නමුත් පාඨකයින් රඳවා ගන්න වෙබ් පිටු ආකර්ශනීය ලෙස සැළසුම් කිරීමේ අත්හදා බැලීම් කරන්න Lanka Dissent අපි බය වුනේ නැහැ.  

මාසයකට විතර පසු බොරැල්ලෙන් පොල්හේන්ගොඩට කාර්යාලය මාරුවෙලා මාසයක් දෙකක් යනකොට ගාමිණි ඉවත් වුනා. ඒ නිසා කර්තෘ වගකීම් සියල්ලට උර දුන්නේ මම. ඒ වන විට, අපි සිංහල සහ ඉංග්‍රීසි වෙබ් පුවත් පතක් හැටියට යම් අවධානයක් ලබා ගෙන තිබුණේ. ඊට හේතු තිබුණා. එකක් වෙබ් පුවත් අඩවි තිබුණේ කිහිපයයි. ඒවායේ සාමාන්‍ය පුවත් පත් වලට වඩා වැඩි වෙනසක් තිබුණේ නැහැ. ඒ වගේම ඒවා යහළු යෙහෙළි පිටු, ජනප්‍රිය පුද්ගලයින්ගේ ඕපා දූප වගේ තොරතුරු සමගින් පැවතුනු පුවත් අඩවි. අනෙක අපි සාම්ප්‍රදායික මාධ්‍යවල වගේ අමාත්‍යාංශවල, දේශපාලකයින්ගේ ප්‍රවෘත්ති පළ කරන්න උනන්දු නොවීම. ඒ වගේම සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් වැදගත් භාෂා භාවිතයක් තහවුරු කිරීම සහ උතුරු-නැගෙනහිර යුද්ධය සම්බන්ධව වෙනත් මාධ්‍ය පළ නොකරන පුවත් නිවැරදිව හා නොපමාව පළ කිරීම. වැදගත් වූයේ වැඩි කලක් නොගොසින් අපි ඉතා වගකීමෙන් ප්‍රවෘත්ති පළ කරන වෙබ් අඩවියක් කියන පාඨක විශ්වාසය දිනා ගැනීමට සමත් වීමයි. ඒ වගේම ඉතා ඉක්මණින් දෙමළ බසින්ද වෙබ් පිටුවක් ආරම්භ කිරීම හේතුවක් කියලා මම හිතනවා. ඇත්තටම 2007 තුන්වන කාර්තුව වනවිට, වෙනත් ජනප්‍රිය අංග නොමැති, පුවත් සඳහාම වෙන්වූ පළමු සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පුවත් වෙබ් අඩවිය වූයේ Lanka Dissent කියලා මගේ විශ්වාසයයි.

රුවන්ට ලැබුණු තොරතුරු එයා මාගල් වගේ අතින් ලියා සටහන් කරගෙන කැළුම්ට හරි ශානිට හරි දුන්නම වාර්තාව සකස් කරන්න කියලා, ඒගොල්ලො ටයිප්සෙට් කරන වාර්තාව මම දෙකෙන් පංගුවට කපනවා. හෙඩිං වෙනස් කරනවා. මට තාම මතකයි දවසක් කැළුම් කිව්වා, “අයියෝ කුසල් අයියා, මගේ මහන්සිය අපරාදේ” කියලා. නමුත් වෙබ් අඩවි වලට ප්‍රවෘත්ති බලන්න ගොඩවන අය හෑලි කියවන්නෙ නැහැ කියන මතයේ මං හිටියේ.

ඒ වගේම විසම්මුතික අදහස් ඉදිරිපත් කිරීමේ කලාවක් හැටියට Lanka Dissent වල කොළඹ, මහනුවර වගේ නගරවල සංවාද සාකච්ඡා පැවැත්වෙන විට ඒවායේ ප්‍රවෘත්ති පළ කිරීමටත් ලොකු උත්සාහයක් ගත්තා. විශේෂයෙන් උතුරු-නැගෙනහිර අර්බුදයට යුද්ධයද නැත්තනම් සාකච්ඡාද කියන මතවාදයට අදාල අයුරින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයට නාගරික සමාජයේ යම් අවධානයක් ලැබුණා. එනිසා කොළඹ තානාපති කාර්යාල කිහිපයක් අපත් එක්ක සම්බන්ධකම් පැවැත් වූවා. ඒ වනවිට, රාජපක්ෂ පාලනයේ මාධ්‍ය මර්දනය උත්සන්න වෙමින් පැවතුනේ. කොළඹ ප්‍රධාන තානාපති කාර්යාල කිහිපයක් මාධ්‍ය මර්දනය ගැන දැඩි කණස්සල්ලෙන් හිටියේ. අපි ආර්ථික වශයෙන් ඉතා අමාරුවෙන්, රුවන්ගේ උත්සාහ මත යැපුනු නිසා, තානාපති කාර්යාල දෙක තුනකින් අපට ආධාර කරන්නත් මාත් සමග සාකච්ඡා කළා. නමුත් අපේ ස්වාධීනත්වය ඇතිව එවැනි ආධාර ලබා ගැනීමේ පරස්පරය සමග ඒවා අත හැරුනා.

යුද්ධය ටික ටික උත්සන්නවීමත් Lanka Dissent වෙත වැඩි පාඨක අවධානයක් ලැබීමත් සමගාමීව සිදුවුනේ. දෙමළ ඩයස්පෝරාව වගේම, සිංහල-බෞද්ධ ඩයස්පෝරාවත් ඒ අතර හිටියා. ඒ වනවිට අපි නැවතත් කාර්යාල ස්ථාන මාරුවක් කර තිබුණා. 2008 වන විට අපි වැඩ කෙරුවේ නාරාහේන්පිට ඇන්ඩර්සන් මහල් නිවාස සංකීර්ණයේ නිවසක සිටයි. ඒ අතර, Lanka Dissent මාධ්‍ය භාවිතය රාජපක්ෂලාගේ අවධානයට හසුව තිබුණා. ඔවුන්ගේ ආරක්ෂක අංශ අපේ ප්‍රවෘත්ති දැඩි විමසිල්ලකට ලක් කර තිබූ බව මා දැන ගත්තේ නිල නොවන ආරක්ෂක ක්ෂේත්‍රයේ බ්ලොග් අඩවියක මා ගැන තිබූ සඳහන් කිරීම් වලින්. ඒ වගේම ඉන්දික ඔහුගේ දේශපාලනය නිසා අත්අඩංගුවට පත්වීමේ තර්ජනයට ලක්ව හිටියේ. 2008 දෙවන භාගයේ ඔහු ස්වේච්ඡායෙන් අතුරුදහන් වුනා. ඔහුට ඒ දිනවලම ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය ලැබුණා.

ඉඳහිට අපි පොඩි අඩියකට හවසට ගොඩවන හෝටලයක දවසක් හවස මං කැළුම් සමග අල්ලාප සල්ලාපයේ ඉන්නකොට අපිත් සමග හිතවත්ව සිටි සේවකයෙක් හෙමිහිට ඇවිත් කිව්වා, තවත් මේසයක අපි දෙන්නා ගැන නිහඬව විමසිල්ලෙන් ඉන්න දෙන්නෙක් ඉන්නවා, ඒ නිසා හෙමීට දැන්ම පිටත් වුනොත් හොඳයි කියලා. ඒ පණිවිඩයෙන් පස්සේ අපි දෙන්නා වෙන වෙනම මාරු උනා. ඇත්තට එදා බිල ගෙවන්නවත් උනේ නැහැ. ටික කලකට අපි ආයේ එතනට ගියේ නැහැ.

ආපසු හැරී බලනවිට, අද වගේ අන්තර්ජාල පහසුකම් සහ තොරතුරු තාක්ෂණය ව්‍යාප්තව පුළුල්ව නොතිබුණු යුගයක, රාජ්‍ය මර්දනයද තියුණුවන, මාධ්‍යවේදීන් පැහැර ගැනීම් හා ඝාතනය කිරීම් කොළඹට වඩා යාපනයෙන් වාර්තා වුනු අවධියක, වෙබ් පුවත් මාධ්‍යකරණයේ මාස 18 ක අත්දැකීම් ඉතා සංකීර්ණ හා අභියෝගාත්මක අත්දැකීම් වුනා. ඒ අභියෝගයේ එක් අසීරු කඩුල්ලක් වුනේ, සාම්ප්‍රදායික මාධ්‍යවල වගේ ලැබෙන තොරතුරුවල නිරවද්‍යතාව දෙවන හෝ තෙවන පාර්ශවයකින් විමසා බැලීමේ අවස්ථාවක් වෙබ් පුවත් මාධ්‍යකරණයෙහි නොලැබීමයි. වෙබ් මාධ්‍යකරණය කියන්නේ කාලය අපතේ නොහැර, හැකි ඉක්මණින් නිවැරදි ප්‍රවෘත්ති පළ කිරීමයි. ඒ නිසා බොහෝ ප්‍රවෘත්තිවල නිරවද්‍යතාව තීන්දු කරන්න සිදුවෙන්නේ තොරතුරු ලබා දෙන්නා ගැන තබන විශ්වාසය මත. දෙවැන්න එවැනි සිදුවීමකට ඇති සම්භාවිතාව ගැන මාධ්‍යවේදියාගේ කියවීමයි. එනිසා ප්‍රවෘත්තිය පළ කිරීමේදී වෙබ් පුවත් අඩවිවල යම් අවදානමක් තියෙනවා. හැකි නම් තවත් පාර්ශවයකින් එය සොයා බැලීම වටිනවා. නමුත් මූලික සාධකය වෙන්නේ කෙතරම් විශ්වාසවන්ත අවංක තොරතුරු සැපයීමේ සම්බන්ධතා වර්ධනය කර ගන්නවාද කියන එකයි.

බැලුවම ඒ මාස 18 නොසෑහෙන දිගු කාලයක්. එතනින් ඒ මාධ්‍යකරණය අවසන් වුනේ 2009 ජනවාරි 08 වන දින සන්ඩේ ලීඩ පුවත් පතේ ප්‍රධාන කර්තෘ අපේ මිත්‍ර ලසන්ත වික්‍රමතුංග ඝාතනයයි. එවැනි අවදානමක් සමග Lanka Dissent මාධ්‍යකරණය පවත්වාගෙන යා නොහැකි යැයි මම ගණන් හැදුව නිසා පසුදින අපි Lanka Dissent වෙබ් පුවත් අඩවිය, මං ඉතාම කෙටියෙන් ලියුව විසම්මුතික ප්‍රකාශයක් සමග අවසන් කෙරුවා.

එදා අපිත් එක්ක හවුල් වුන අයගෙන් දැන් වෙබ් මාධ්‍යකරණයේ පූර්ණකාලීන මාධ්‍යවේදීන් හැටියට ඉන්නේ කැළුම් සහ ශානි විතරයි මං හිතන්නේ. නමුත් රුවන් නම් තාම “වෙබ් අඩවි ගොඩ් ෆාදර්ම” තමයි.  

– කුසල් පෙරේරා
2023 ජුලි 07    

විශේෂාංග

ඇපත් නැතිව පරදින ලංකාවේ දෙවැනි ඇමැති මණ්ඩලය!

Published

on

By

සී.පී. ද සිල්වා ඇමැති මණ්ඩලයේදී කිරි වීදුරුව බිව්වේ නැත්නම් දහනායක කවදාවත් ලංකාවේ අගමැති වන්නේ නැත. දහනායක අගමැති වුණේ සී.පී. ද සිල්වා බණ්ඩාරනායක ඝාතනය වීමට පෙර පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී විෂ සහිත කිරි වීදුරුවක් බී සිහිසුන්වී වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලන්ඩන් රැගෙන ගිය නිසාය.

ඒ වගේම අගමැතිකම බාරගන්න සජිත්, ගෝඨාභයට ඉවත්ව යන්නැයි නොකිව්වා නම් රනිල් කවදාවත් ජනාධිපති වන්නේ නැත. රනිල් අභියෝග බාරගත්තා යැයි යූ.ඇන්.පී.කාරයන් ගහන කයියට කටඋත්තර නැතිවුණේ තමා සජිත්ට අගමැතිකම බාරගන්න එන්න යැයි කී විට සජිත් අරගලයට හිස නමා ඉවත් වෙන්න යැයි ගෝඨාභය සිය පොතින් හෙළිදරව් කළ නිසාය. ඒ වගේම ඉරාන් වික්‍රමරත්න මෑතකදී කීවේ සජිත් අගමැතිකම බාරගන්න ගෝඨාභය ඉවත්විය යුතු කාලසටහන ගැන තමන් එක් කාමරයක ගෝඨාගේ නියෝජිතයන් සමග සාකච්ඡා කරමින් සිටියදී අනෙක් කාමරයේ රනිල් අගමැති ධුරයේ දිවුරුම් දෙන්න සූදානමින් සිටි බවය. ඔහු කිව්වේ රාජපක්ෂ පවුල රනිල්ව අගමැති කරන්න තීරණය කොට සජිත්ව අන්නන්න බොරුවට සජිත්ට අගමැතිකම බාරගන්න කීවා කියාය.

කොහොම වෙතත් රනිල් අගමැති වුණේත් දහනායක අගමැති වුණා වගේ අහම්බෙනි. දහනායක අගමැති වී ඔහුව අගමැති කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, ශ්‍රීලනිප හිටපු නායක බණ්ඩාරනායකගේ පවුලටත් පහර ගසමින් ඔහු නව දේශපාලන ගමනක් යන්න පටන් ගත්තේය.

පහත දැක්වෙන්නේ දහනායකගේ නව දේශපාලන ගමන ගැන දහනායක ආණ්ඩුවේ හිටපු බණ්ඩාරනායකවාදී ප්‍රබල ඇමැතිවරයෙක් වූ ටී.බී. ඉලංගරත්න කී කතාවය.

“අවමංගල්‍යයෙන් සති කීපයකට පසු අගමැති නිල නිවාසය වූ අරලියගහ මැඳුරේ ඇමැති මණ්ඩල රැස්වීමකදී දහනායක අගමැති අප අමතා තමා දේශපාලන පක්ෂයක් ගොඩනගන්නට තීරණය කරගත් බව කියා සිටියේය.

අප විමතියට පත්වීමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයේ අගමැතිවරයා වෙන පක්ෂයක් ගොඩනගන්නට යෑම නිසයි. නව පක්ෂයේ ප්‍රතිපත්ති වශයෙන් ඔහු ඉදිරිපත් කරන ලද්දේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පදනම් ප්‍රතිපත්තිවලට හාත්පසින්ම පටහැනි වැඩපිළිවෙළකි.

ඇමැති මණ්ඩලයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වූ අපේ තත්ත්වය කුමක්දැයි ඇසූ විට පිළිතුරු වශයෙන් ඔහු කීවේ අපටත් ඔහුගේ නව පක්ෂයට බැඳිය හැකි බවත්, එසේ නැතහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම සිටිය හැකි බවත්ය.

ඔහුගේ එම ගුණමකු අගරු ප්‍රකාශයත් සමගම ඇමැති මණ්ඩල රැස්වීමද ක්ෂණයකින්ම ඊළඟ දිනයට කල්දමා විසුරුවා හැර නැගී ගියේය.

එදා රෑම 1959 දෙසැම්බර් අටවැනිදා ඔලිවර් ගුණතිලක අග්‍රාණ්ඩුකාරතුමා ලවා අප පස්දෙනකු ඇමැති ධුරවලින් පහ කළේය. ස්වදේශභාර ඇමැති ටී.බී ඉලංගරත්න – ප්‍රවාහන හා විදුලිබල ඇමැති, මෛත්‍රීපාල සේනානායක – සෞඛ්‍ය ඇමැති, ඒ.පී. ජයසූරිය – සංස්කෘතික හ සමාජසේවා ඇමැති, පී.බී.ජී. කළුගල්ල, කම්කරු ඇමැති – ඇම්.පී. සොයිසාත්ය.
එසේම දහනායක ප්‍රිය නොකළ නියෝජ්‍ය ඇමැතිවරු කීප දෙනෙක්ද තනතුරුවලින් පහකරන ලදහ.

බණ්ඩාරනායක ඝාතනය සැලසුම් කළ කුමන්ත්‍රණකාරයන්ගේ අරමුණ වූ ප්‍රතිගාමීත්වය රජකරවීම ඒ ආකාරයෙන්ම එයින් තවත් සාර්ථක විය.

ලංකාව පුංචි එංගලන්තයක් කිරීම එකම අරමුණ කරගත් අග්‍රාණ්ඩුකාර ඔලිවර් ගුණතිලක මහතා දහනායකගේ නියමුවාද, උපදේශකයාද, වධකයාද වූයේය.”

දහනායක පළමුවෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමා ඉවත් වන බව දැන්වීය. ශ්‍රීලනිපය ඔහුගේ ඉල්ලා අස්වීම පිළිනොගෙන ඔහු පක්ෂයෙන් ඉවත් කළේය. ඒ තරහට ඔහු බණ්ඩාරනායකවාදී ශ්‍රීලනිප ඇමැතිවරු ඉවත් කොට පස්දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කර ගත්තේය. ඔහුගේ නව පක්ෂයේ නම වූයේ ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයය. 1960 මාර්තු මහ මැතිවරණයට ඔහු තරග වැදුණේ එම පක්ෂයෙනි. රටම මවිතයට පත්කරමින් ඔහුත්, ඔහුගේ පක්ෂයත් මැතිරණයේදී අන්ත පරාජයකට පත්විය. ඔහුගේ පක්ෂයෙන් කිසිවෙක් පාර්ලිමේන්තුවට තේරීපත් වූයේ නැත.
ලංකාවේ දේශපාලන ඉතිහාසයේ අගමැතිත් සමග ඇමැති මණ්ඩලයම පරාජයට පත්වූ ශ්‍රී ලංකාවේ පළමු ඇමැති මණ්ඩලය එය විය. ඔහු ඇමැති ධුරවලින් පන්නා දැමූ බණ්ඩාරනායකවාදී ශ්‍රීලනිප ඇමැතිවරු ශ්‍රීලනිපයෙන් තරග කොට තේරී පත්විය.

දහනායකට වගේම ඇමැති මණ්ඩලයක් දහනායක වගේ අගමැති වී පසුව ජනාධිපති වූ රනිල්ට සිටී. මේ ඇමැති මණ්ඩලයේ ඉන්නා ඇමැතිවරුන්ට පක්ෂයක් නැත. ඊළඟ මහ ඡන්දයේදී තමන් තරග කරන්නේ මොන පක්ෂයෙන්ද කියා මේ ඇමැතිවරු දන්නේත් නැත. මේ ඇමැති මණ්ඩලයේ ඉන්නා සමහරක් වගේම රටේ ජනාධිපතිද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුය. ඔවුන් ඊළඟට පාර්ලිමේන්තු එන්න ජාතික ලැයිස්තුවක් සොයා ගන්නේ කෙසේද කියා ඔවුන්වත් දන්නේ නැත.

දිනේෂ් ගුණවර්ධනට පක්ෂයක් තිබේ. ඒ, මහජන එක්සත් පෙරමුණය. මහජන එක්සත් පෙරමුණ අවසන් වරට ඡන්දයකට තනිවම තරග කළේ 1994 මහ මැතිවරණයය. 1994 මහ මැතිවරණයට දිනේෂ්, බන්දුල රෝදය ලකුණ යටතේ තරග කළහ. එම මැතිවරණයෙන් මහජන එක්සත් පෙරමුණ අන්ත පරාජයකට පත්විය. දිනේෂ් සහ බන්දුලටත් ඇප නැති විය. චන්ද්‍රිකා කොටි දෙනක් කියා සිංහල බෞද්ධ ජාතිවාදය අවුස්සා ඡන්දය ඉල්ලා අන්ත පරාජයකට පත්වූ මහජන එක්සත් පෙරමුණ 2000 මහ ඡන්දයේදී යළි චන්ද්‍රිකාගේ නායකත්වය යටතේ සන්ධානගත වී ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට තේරී පත්විය. අද වනවිට මහජන එක්සත් පෙරමුණ කියා පක්ෂයක් තියෙන්නේ නමටය. දිනේෂ් සහ මහජන එක්සත් පෙරමුණ ඡන්දය ඉල්ලුවොත් වෙන්නේ 1994 මහ ඡන්දයේදී වෙච්ච දේමය.

අනෙක් හැමෝම ඉන්නේ එල්ලෙන්න වැලක් නැතිවය. සමහරු පොහොට්ටුව රනිල්ව ජනාධිපති අපේක්ෂකයා කළ යුතු යැයි කියති. තවත් සමහරුන් ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ ගැන වචනයක්වත් කතා කරන්නේ නැත. මේ ඇමැති මණ්ඩලය ගෝඨාභය පත්කර ගත්තේ අරගලයට බයේය. ගෝඨාගේ කලින් ඇමැති මණ්ඩලයේ හිටියේ පොහොට්ටු පතාකයන්ය. අරගලයෙන් ඔවුන්ට දැඩි විරෝධතාවක් එල්ල විය. ඒ වෙනකොට ගෝඨාගෙන් ඇමැති ධුරයක් ඉල්ලා එය නොලැබ කෝපයට පත් සුසිල් ප්‍රේමජයන්ත දෙල්කඳ පොළේ ගිහින් බඩු මිල වැඩි යැයි කියා ගෝඨාව විවේචනය කළේය. විජයදාස රාජපක්ෂද ගෝඨාගෙන් ඇමැතිකමක් නොලැබී ගෝඨාගේ ආණ්ඩුවට රිදෙන්න ගැහුවේය. කංචන විජේසේකරලා හිටියේ නාමල්ලා එක්කය. ප්‍රසන්න හිටියේ බැසිල්ලා එක්කය. ගෝඨා අරගලයට බයේ පොහොට්ටු පතාකයන්ගේ කැබිනට් මණ්ඩලය අහෝසි කොට ඔහුට බැණ බැණ ගිය අයව එක්කොට ඇමැති මණ්ඩලය හැදුවේ අරගලයෙන් බේරී ජනාධිපතිකම බේරාගන්නටය. ඒ අතර නාමල්ගේ කීමට කංචනවත්, බැසිල්ගේ කීමට ප්‍රසන්නවත් ඇමැති මණ්ඩලයට ගත්තේය. ගෝඨා ඉවත් වූ විට මේ ඇමැති මණ්ඩලය හොල්මන් විය. නායකයෙක් නැති පක්ෂයක් නැති මේ අනාථ වූ අසරණ වූ ඇමැති මණ්ඩලය තියාගන්න රනිල් කැමැති වූයේ රනිල්ටත් තමාගේ පක්ෂයෙන් සිටියේ එක මන්ත්‍රීවරයෙක් වූ නිසාය. මේ ඇමැති මණ්ඩලයම පසුගිය වසර දෙකේම කළේ සිග්නල් කණු මෙන් අත් උස්සන එක විතරය. මේ ඇමැති මණ්ඩලය මුලින් හිතුවේ රනිල් මාර ගේමක් ගහලා තමන්වත් ගොඩ දමයි කියලාය. ඔවුන් හිතාගෙන හිටියේ රනිල් සමගි ජන බලවේගය ගෙඩිය පිටින් ගිලලා එජාපයට යළි පණ දුන් පසු එජාප සන්ධානයට එකතු වෙන්නටය. ඒත් දැන් දැන් රනිල් එක්ක ගිහින් තමන්ටත් යනඑන මං නැති වන බව ඔවුන්ට තේරුම් ගොස් තිබේ. රනිල්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරලා රනිල් දිනවන්න ගිහින් රනිල් පරාජය වුවහොත් මේ හැමෝටම පාර්ලිමේන්තු යෑම හීනයකි. රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුණොත් පාර්ලිමේන්තු යන්න පක්ෂයක් සොයාගැනීම කළුනික හොයනවාටත් වඩා අමාරු වනු ඇත.

– උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

Continue Reading

විශේෂාංග

මැතිවරණ දෙකම එකම දින පැවැත්වීමේ මගෝඩි කතාව

Published

on

By

තමන්ට යැයි කිසිදු දේශපාලන වැඩපිළිවෙලක් නැති නමුත් පුරුද්දක් වශයෙන් මාධ්‍යයෙන් යැපෙන දේශපාලන අයාලයෙකු ඊයේ (අප්‍රේල් 03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිංහල-දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාව ලිස්සණ ගසක නැංවීමට හදා ගත් කතාවක් රසකර මාධ්‍යයට කියා ඇත.

ඔහු කියා තිබූ ආකාරයට ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සූදානම් නැති ජනාධිපති වික්‍රමසිංහ සහ ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලා සිටින, මෑතක් වන තුරු ඔහු ඇබිත්තකම් කළ රාජපක්ෂලා දැන් යම් එකඟතාවකට පැමිණ ඇත. හේතු කාරණා එකතු කරමින් ඔහු කියූ ඒ එකඟතාව වන්නේ ඔවුන් දෙගොල්ලන්ගේම වාසි වෙනුවෙන් ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය එකම දින පැවැත්වීමය.

නීතිමය වශයෙන් එයට සෘජු බාධාවන් නැත. ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරයෙකුට ධුර කාලයෙන් වසර 04 ක් සම්පූර්ණ කළ පසු නැවත ජනාධිපතිවරණයකට යාමේ අවසරය ඇත. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ ඉන්නා වික්‍රමසිංහ ජනාධිපතිට ගෝඨාභය තේරී පත්වූ වසර 05 ක පූර්ණ ධුර කාලය සම්පූර්ණ කිරීමට සිදුවන හෙයින් ජනාධිපතිවරණය එහේ මෙහේ කිරීමට මැතිවරණ කොමිසමටද නොහැක.

නමුත් පාර්ලිමේන්තුව තේරී පත් කෙරුණු දින සිට මාස 30 ක කාලය ඉක්මවූ පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිට ලබාදී ඇති අතර, මන්ත්‍රී බහුතරයක් සම්මත කරන්නාවූ පාර්ලිමේන්තු යෝජනාවක් මගින්ද පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට හැකිය. එය සිංහල-දෙමළ අළුත් අවුරුද්දෙන් පසු දිනෙක පාර්ලිමේන්තුව කඳවා සම්මත කරගත හැකි යෝජනාවකි. ගැටළුව ඇත්තේ එකම දින ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නාම යෝජනා සහ මැතිවරණ දින ගලපා ගැනීමෙහිය.

මෙවර ජනාධිපතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉදිරි සැප්තැම්බර 17 වන දින හෝ ඊට පසු මාසයක් ඇතුළත පැවැත්වෙන බවට වන නියමය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශ කළ යුත්තේ මැතිවරණ කොමිසම මගින්ය. එහිදී ජනාධිපති මැතිවරණ පනතට අනුව මැතිවරණ කොමිසම අනිවාර්යෙන් පිළිපැදිය යුතු දින වකවානු සම්බන්ධ කොන්දේසි කිහිපයක් ඇත.

(1) නාම යෝජනා බාර ගන්නා දිනය පූර්ව නියමය ප්‍රකාශ කළ දිනයේ සිට දින 16 ට පසු සහ දින 21 ක් ඇතුළත දිනයක් ලෙස නියම කළ යුතුය. එය එක් දිනකි. ඒ සමග නාම යෝජනා බාර ගන්නා ස්ථානය සහ වෙලාවන්ද ප්‍රකාශ කළ යුතුය.

(2) ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය නියම කළ යුත්තේ නාම යෝජනා බාර ගන්නා දිනයේ සිට සති 04 ට පසු සහ සති 06 ක් අවසන් වීමට පෙරාතු දිනයක ය.

එහෙත් පාර්ලිමේන්තු මැතිවරණයකදී ඒ කාල පරාස ඊට බෙහෙවින් වෙනස් ය.

01. නාම යෝජනා සඳහා දින නියම කළ යුත්තේ ගැසට් පත්‍රිකාවක් මගින් නියම කෙරුණු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ දින සිට දින 10 ට පසු දිනයේ සිට දින 17 ක් කල් ඉකුත්වන දින පස්වරු 12 තෙක් ය. එහි අරුත නම් පාර්ලිමේන්තු මැතිවරණයක නාම යෝජනා බාර ගැනීම සතියක කාලයක් පුරා සිදු කෙරෙන බවය.

02. මැතිවරණ දිනය තීන්දු කළ යුත්තේ නාම යෝජනා බාර ගැනීම අවසන් වූ දින සිට සති 05 ට පසු සහ සති 07 ක් ඉක්ම යෑමට ප්‍රථමයෙනි.  

මැතිවරණ දෙකක් වෙනුවෙන් වෙනස් දින වකවානු එක කාලසටහනකට ගැලපීම එතරම් පහසු කාරණාවක් නොවේ. ජනාධිපතිවරණයේ නාම යෝජනා දිනය හා ජනාධිපතිවරණ දිනය සමග පාර්ලිමේන්තු මැතිවරණය ගැලපීමට, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මැතිවරණ කොමිසම සමග කෙරෙන සාකච්ඡාවකින් පසුව තීන්දු කිරීමට සිදු වන්නකි. මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය පැවැත්වෙන දින සැළසුම් කිරීම අනුව පාර්ලිමේන්තු මැතිවරණයක නාම යෝජනා බාර ගැනීම හා මැතිවරණ දිනය ගලපා ගත යුතු හෙයිනි. ඉදිරි මාස 04 ක කාලයකදී එළෙසින් කාල සටහන් හැදීමට වඩා පහසු කාර්ය වන්නේ බහුතර මන්ත්‍රී යෝජනා සම්මතයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණය හා ජනාධිපතිවරණය සුපුරුදු පරිදි වෙන වෙනම පැවැත්වීමය.

එසේ නැතිව අයාලයින් මාධ්‍යයට කියන කතා අනුව ජනාධිපති වික්‍රමසිංහගේ සහ රාජපක්ෂලාගේ සම්මුතිය මත මේ මැතිවරණ දෙක එකවර පැවැත් විය හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අනුව්‍යවස්ථා 104ආ(1) යටතේ වෙන් වෙන්ව නම්කර ඇති “ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කර ගැනීම, පළාත් සභා මන්ත්‍රීවරයන් තෝරා පත්කර ගැනීම, පළාත් පාලන ආයතනවල සභිකයන් තෝරා පත්කර ගැනීම සහ ජනමත විචාරණයක් පැවැත්වීම” අතුරින් ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කර ගැනීමේ මැතිවරණ එකවර එක් දිනෙක පැවැත්වීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් මගින් මැතිවරණ කොමිසමට බලය පැවරීමෙන් පමණි. ඒ අනුව නාම යෝජනා බාර ගැනීම සහ ඡන්දය පැවැත්වීම සම්බන්ධ ජනාධිපති මැතිවරණ පනතෙහි සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතෙහි ප්‍රතිපාදනද සංශෝධනය කළ යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මැතිවරණ පනත් එසේ සංශෝධනය කළ විට, ඊළගට මතුවන පරස්පරය වනුයේ ජනාධිපතිවරයාට වසර 04 ට පසු නැවත ජනාධිපතිවරණයකට යෑමේ ව්‍යවස්ථා ප්‍රතිපාදනයට සහ පාර්ලිමේන්තුව සිය ධුර කාලයෙන් මාස 30 ට පසු හා බහුතර මන්ත්‍රීවරුන්ගේ යෝජනාවක් මත විසුරු වන්නට ඇති ප්‍රතිපාදනයට සිදු වන්නේ කුමක්ද යන්නෙහි ය. එවිට එකම දින මැතිවරණ දෙක පැවැත්වීමට එක්කෝ පාර්ලිමේන්තුව කල් තියා විසුරුවන දිනය අනුව ජනාධිපති ධූරය සඳහාද ජනාධිපතිවරණයක් තීන්දු කිරීමේ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන හෝ වසර 04 ට පසු ජනාධිපති තම දෙවන ධුර කාලය සඳහා මැතිවරණයක් තීන්දු කළහොත් ඒ සමග පාර්ලිමේන්තුවද විසුරු හැරීමට ව්‍යවස්ථා ප්‍රතිපාදන තිබිය යුතුය. එවිට සිදුවිය හැක්කේ ජනාධිපති ධුර කාලය පාර්ලිමේන්තුවේ ධුර කාලය අනුව තීන්දු වීම හෝ පාර්ලිමේන්තුව අවුරුදු 04 ක් ඉක්ම වන තෙක් විසුරුවන්නට නොහැකි වීම හා ජනාධිතිවරණය අනුව එය තීන්දු වීමය.

එබැවින් දුර දිග බැලීමේ නොහැකියාවත් සමාජය වෙනුවෙන් වගවීමකුත් නැති දේශපාලන අයාලයින් ඔවුන්ගේ ප්‍රසිද්ධිය වෙනුවෙන් කියන කතා අනුව රටක මැතිවරණ ක්‍රියාවලි දිග හරින්නට හෝ හකුලන්නට නොහැක. බරපතලම ප්‍රශ්නය එවැනි ඕනෑම වාචාල කතාවක් මාධ්‍යවේදීන් ප්‍රශ්න නොකර ගෙනැවිත් ඒවා වැදගත් ප්‍රවෘත්ති ලෙස වාර්තා කිරීමය. මාධ්‍යවේදීන්ටද සමාජ වගකීමක් ඇති බැව් අමතක වීමය.

– කුසල් පෙරේරා
2024 අප්‍රේල් 04

Continue Reading

විශේෂාංග

‘අදානිගේ කොරිඩෝව දිගේ යන්න නම් කුරුල්ලන්ට අට ගහන්න පුරුදු කරන්න වෙනවා.’

Published

on

By

ලෝකයේ කුරුල්ලන් සංක්‍රමණය වන ප්‍රධාන මාර්ග අටෙන් එකක් වන මධ්‍යම ආසියානු සංක්‍රමණික මාර්ගයේ (Central Asian Flyway) ගමනාන්තය වූ ශ්‍රී ලංකාව කුරුලු පරාදීසයකි. කිලෝමීටර් දහස් ගණනක් දුර ගෙවාගෙන රටවල් 30කින් සංක්‍රමණික කුරුල්ලෝ ශ්‍රී ලංකාවට පැමිණෙති. එලෙස පැමිණෙන කුරුල්ලන් මිලියන 15ක් පමණ වසරකට ශ්‍රී ලංකාවට ඇතුළු වන බවට පර්යේෂකයන් ඇස්තමේන්තු කර ඇත. මන්නාරම ශ්‍රී ලංකාවට කුරුල්ලන් ඇතුළුවන ප්‍රධාන මාර්ගයකි.

ඊට අමතරව උතුරු පළාතට අයත් මන්නාරම දූපත යනු ධීවර ප්‍රජාව ජීවත් වෙන, ඊටම අවේණික වූ සුවිශේෂී පරිසර පද්ධති දක්නට ලැබෙන, ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා බැඳුනු, කලාපයේ භූ දේශපාලනික වශයෙන් ද ඉතා සංවේදී ප්‍රදේශයකි. එබැවින් මන්නාරමේ නව සුළං බලාගාර ව්‍යාපෘතිය කුරුල්ලන්ට පමණක් බලපාන ගැටලුවක් ලෙස ලඝු කළ නොහැක.

නමුත් එම වටිනාකම් නොසලකා, සංක්‍රමණික කුරුල්ලන් ශ්‍රී ලංකාවට නොපැමිණෙන කාලයක, අවිද්‍යාත්මක පරිසර ඇගයීම් වාර්තාවක් සකස් කර නීති විරෝධී අයුරින් සීමා සහිත අදානි හරිත බලශක්ති ශ්‍රී ලංකා සමාගමට මන්නාරමේ සුළං බලාගාර ව්‍යාපෘතියක් සඳහා අවසර ලබා දීමට රාජ්‍ය ආයතන ද ක්‍රියා කරමින් සිටින බවට පාර්ශව රැසකින් චෝදනා එල්ල වේ.

‘මන්නාරමේ කුරුල්ලෝ මිලියනයක් විතර නතර වෙනවා’

අදාළ සුළං බලාගාර ව්‍යාපෘතිය අනුමැතිය ලබා දීම සඳහා සකස් කළ පරිසර ඇගයීම් වාර්තාව (EIA – Environmental Impact Assessment) මධ්‍යම පරිසර අධිකාරිය විසින් ප්‍රසිද්ධ කර ඇති අතර මාර්තු 06 වැනිදා තෙක් මහජන අදහස් සඳහා විවෘතව පවතී.

මේ ගැටලුව දැන් කරලියට පැමිණ තිබෙන්නේ අදාළ සුළං බලාගාර ව්‍යාපෘතිය අනුමැතිය ලබා දීම සඳහා සකස් කළ පරිසර ඇගයීම් වාර්තාව (EIA – Environmental Impact Assessment) මධ්‍යම පරිසර අධිකාරිය විසින් ප්‍රසිද්ධ කර මාර්තු 06 වැනිදා තෙක් මහජන අදහස් සඳහා විවෘත කර ඇති බැවිනි. නමුත් නැගෙන චෝදනා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙන්ම පරිසර ඇගයීම් වාර්තාව සකස් කල විශේෂඥ කමිටුව ප්‍රතික්ෂේප කරති.

”ලංකාවට එන කුරුල්ලන්ගෙන් මිලියනයක් විතර ඔක්තෝම්බර් සිට මාර්තු අතර කාලයේ මන්නාරමේ නතර වෙනවා. නමුත් සංක්‍රමණික කුරුල්ලෝ නැති කාලයක අධ්‍යනයක් කරලා ඒකෙන් සංක්‍රමණික කුරුල්ලන්ට ගැටලුවක් වෙන්නේ නෑ කියලා මේ වාර්තාවෙන් කියනවා. ඒක බරපතල තාක්ෂණික වැරද්දක්. දෙවැනි කාරණය මේ වාර්තාව හදපු අය උදේ 6 ඉඳන් හවස 6 වෙනකං දවල්ට කැලේ ඇවිදලා තමයි තොරතුරු රැස්කලා කියන්නේ. චන්ද්‍රිකා තාක්ෂණය පාවිච්චි කරලා අපි විද්‍යාත්මකව පෙන්නලා දීපු කාරණයක් තමයි සංචාරක කුරුල්ලෝ දහස් ගාණක් පියාඹන්නේ රෑට. සමහර විට එක රංචුවේ කුරුල්ලෝ ලක්ෂ දෙකහමාර, ලක්ෂ හතර ඉන්නවා. ඉතිං දවල්ට කැලේ ගිහිං රෑට අහසේ පියාඹන කුරුල්ලෝ ගැන කියන්නේ කොහොමද? යනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය සම්පත් සෙනවිරත්න BBC සිංහල සේවයට පැවසුවේය.

පරිසර බලපෑම් තක්සේරු වාර්තාව: කුරුල්ලන්ට ගමන් කිරීමට ඇති කොරිඩෝව කහ වර්ණයෙන් දක්වා ඇත.

”අනික් විහිළුව මේකේ කියනවා කුරුල්ලන්ට යන්න කොරිඩෝවක් ඇඳලා තියෙනවා. ඒකෙ දිගේ යන්න නම් හැරෙන තැන්වල බෝඩ් ගහලා තියෙන්න ඕනා. අදානිගේ මැප් එකයි EIA වාර්තාවයි සමපාත කළහම පේනවා කොරිඩෝව මැද්දේත් සුළං මෝල් තියෙනවා. අදානිගේ කොරිඩෝව දිගේ යන්න නම් කුරුල්ලන්ට අට ගහන්නත් පුරුදු කරන්න වෙනවා. මේක ඇඳලා තියෙන්නේ මෙතන කොහොම හරි සුළං මෝල් ව්‍යාපෘතියට අවසර දෙන්න කියලා පේනවා.” යනුවෙන් මහාචාර්ය සම්පත් සෙනවිරත්න වැඩිදුරත් කියා සිටියේය.

කුරුලු පාරාදීසයක් බවට පත්ව ඇති මන්නාරම දූපත සහ ඒ අවට කලාපයේ පරිසර විද්‍යාත්මක වැදගත්කම සැලකිල්ලට ගෙන ආදම්ගේ පාලම ජාතික වනෝද්‍යානයක් ලෙස ද, වෙඩිතලතිව් ස්වභාවික රක්ෂිතයක් ලෙස ද, වන්කලෙයි අභය භූමිය අන්තර්ජාතික වශයෙන් වැදගත් රැම්සා තෙත් බිමක් ලෙස ද ප්‍රකාශයට පත්කර ඇත.

එහෙත් ආදම්ගේ පාලම ජාතික වනෝද්‍යාන ලැයිස්තුවෙන් ඉවත් කිරීමටත් වෙඩිතලතිව් රක්ෂිත තත්ත්වයෙන් නිදහස් කිරීමටත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඉල්ලීම් ඉදිරිපත් වී ඇති පසුබිමක සුළං බලාගාර ව්‍යාපෘතිය කරලියට පැමිණ තිබේ.

මන්නාරමේ කුරුල්ලන් සංක්‍රමණය වන ගමන් මාර්ගය කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සම්පත් සෙනවිරත්නගේ ප්‍රධානත්වයෙන් චන්ද්‍රිකා තාක්ෂණය ඇසුරෙන් නිරීක්ෂණය කළ අවස්ථාවක්.

අදානිගේ මේ ව්‍යාපෘතිය කුමක් ද?

යෝජිත මන්නාරම සුළං බලශක්ති ව්‍යාපෘතිය (අදියර II) යටතේ මෙගා වොට් 250ක ධාරිතාවක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති අතර අලුතින් සුළං ටර්බයින් 52ක් ස්ථාපිත කෙරේ. පරිසර ඇගයීම් වාර්තාවේ දැක්වෙන පරිදි දැනට ක්‍රියාත්මක තම්බපවනි සුළං බලාගාරයට සමාන්තරව, මන්නාරම දූපතේ බොහෝ ප්‍රදේශයක් ආවරණය වන පරිදි නව සුළං ටර්බයින් ස්ථානගත කෙරේ.

වාර්ෂිකව ගිගාවොට් පැය 1048ක විදුලිය නිෂ්පාදනය කිරීමට සැලසුම් කෙරේ. එමගින් වාර්ෂිකව හරිතාගාර වායු මෙට්‍රික් ටොන් මිලියන 0.8කින් අඩු කෙරෙන අතර වාර්ෂිකව ඉන්ධන සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 18ක ඉතිරියක් වන බවට ගණන් බලා තිබේ. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් 2014 අප්‍රේල් 17 වැනි දින අංක 1852/2 දරණ ඇති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද ‘බලශක්ති සංවර්ධන ප්‍රදේශය තුළ’ හෙක්ටයාර 202ක භූමි ප්‍රදේශයක් තුළ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

අදානි සමාගම ශ්‍රී ලංකා රජය හා ගිවිසුම්ගතව සිටින්නේ මන්නාරම සහ පූනරීන්හි මෙගාවොට් 500ක සුළංබල ව්‍යාපෘතියක් දියත්කිරීම සඳහා ය.

රජයේ නියාමන ආයතනයක් ව්‍යාපෘති යෝජකයා වුණේ කොහොම ද?

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙම ව්‍යාපෘතියේ, ව්‍යාපෘති යෝජකයා ලෙස කටයුතු කරයි. ඔවුන් මේ සඳහා කර ඇති මැදිහත්වීම නීති විරෝධී බව ආචාර්ය ජගත් ගුණවර්ධන BBC සිංහල සේවයට පැවසුවේය.

”මෙතන වැරදි තුනක් වෙනවා. හරිනම් පරිසර බලපෑම් තක්සේරු වාර්තාව (EIA) එක කරලා ඒක අනුවයි හරි තැනක් තෝර ගන්න ඕනා. නමුත් මෙතන විකල්ප ස්ථාන හඳුනා ගැනීමකින් තොරව මන්නාරම මුලින් තෝරාගෙන බොරුවට EIA එකක් කරන්නේ. පරිසර පනතේ හැටියට ඒ විකල්ප ස්ථාන හඳුනා ගැනීම මෙතන දී සිද්ධ වෙලා නෑ. දෙවැනි කාරණය ව්‍යාපෘති පාලනය කරන රජයේ නියාමන ආයතනයක් වෙච්ච ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙතන දී අදානි වෙනුවෙන් ව්‍යාපෘති යෝජකයා වුණේ කොහොමද කියන එක. තුන්වෙනි කාරණය එහෙම ව්‍යාපෘති යෝජකයා විදියට අරගෙන තුන්වැනි පාර්ශවයකට දෙනවා නම් ඒ ක්‍රමවේදය මොකක්ද කියන එක. එහෙනම් අයදුම්පත් කැඳවලා සුදුසුම කෙනා තෝරගෙන කළ යුතුයි. දැන් අදානිව කලින්ම තෝරාගෙන එයාට දෙන්න මේක කරනවා නම් ඒක බලවත් විෂමාචාරයක්.” යනුවෙන් ආචාර්ය ජගත් ගුණවර්ධන සඳහන් කළේය.

‘නීතිය මම දන්නේ නැහැ ඉන්ටර්ප්‍රිට් කරන විදිය’

නියාමන ආයතනයක් ලෙස කටයුතු කරන රජයේ ආයතනයක් ව්‍යාපෘති යෝජකයා ලෙස කටයුතු කිරීමේ නීතිමය පසුබිම කුමක්දැයි අපි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති ඉංජිනේරු රංජිත් සේපාලගෙන් ද විමසීමක් කළෙමු.

නමුත් ඔහු එහි නීතිමය තත්ත්වය පැහැදිලි කරනු වෙනුවට ආයෝජකයන්ට පහසුකම් සැලසීමේ වැදගත්කම විස්තර කළේය.

”නීතිය මම දන්නේ නැහැ ඉන්ටර්ප්‍රිට් කරන විදිය. අපි ඇප්ලිකේෂන් එකක් දැම්මම අපි තමයි ව්‍යාපෘති යෝජකයා. එකෙන් ගම්‍ය වෙන්නේ නෑ ඒ ව්‍යාපෘතිය අපේ අධිකාරියෙන් කරනවා කියලා. අපි කරන්නේ මේ ව්‍යාපෘතියට අවශ්‍ය කරන සියලු අනුමතින් අරන් දෙන එක. එහෙම කරන්නේ ආයෝජකයෙක් ඇවිත් මේවා ඩිවලොප් කරන්න ගියොත් අවුරුදු දෙක තුනක් යනවා. එතකොට ආයෝජකයෙක් ඉන්නේ නැහැ. ‘රෙඩි ටූ ඉන්වෙස්ට්’ කියන පදනම යටතේ තමයි අපි මේක කරන්නේ. එකේදී අපෙන් යම් මුදලක් වියදම් වුණා නම් ඒක අයකර ගන්නවා. මේක තමයි අපේ ප්‍රතිපත්තිය.” යන්න ඔහුගේ පිළිතුර විය.

”අපි අනවශ්‍ය විදියට ඒ පරිසරය වෙනස් කළොත් මන්නාරමේ ජීවත්වෙන 70,000කට විතර වතුර නැති වෙනවා. ඊට අමතරව සුළං පෙතිවල සෙවනැළි බලපෑම තදින් දැනෙන්න පුළුවන්.”

‘සුළං බලාගාරවල කුරුල්ලෝ වදිනවම තමයි’

මේ ව්‍යාපෘතියට අදාළ පරිසර බලපෑම් තක්සේරු වාර්තාව පිලියෙල කර තිබෙන්නේ රමණි ඇල්ලේපොලගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ කමියුවක් විසිනි. කුරුල්ලන් හා සතුන්ට වන බලපෑම කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දෙවක වීරකෝන්, ශාක වලට වන බලපෑම ආචාර්ය හිමේෂ් ජයසිංහ, ජලජ පරිසරයට වන බලපෑම ඩී.ඒ.ජේ රන්වල යන සලකා බලා තිබේ. විශේෂඥයින් 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකක් මේ සඳහා දායක වූ බව දැනගන්නට තිබේ.

පර්යේෂණ කණ්ඩායම් ප්‍රධානි රමණි ඇල්ලේපොල BBC සිංහල සේවය කළ විමසීමක දී මෙසේ පැවසුවාය.

”අපි අදානිට ඕනා සැලැස්ම අනුමත කළා කියන්න බෑ. අපි පරිසර තත්වයන් බලලා සමහර ටර්බයින් ඉවත් කළා. ඒ වගේම ඇතැම් ටර්බයින් ස්ථාපිත කළ තැන වෙනස් කළා.”

මේ අතර මහාචාර්ය දේවක වීරකෝන් පවසන්නේ 2017 සැප්තැම්බර් සිට 2018 සැප්තැම්බර් දක්වා කාලය තුළ සංක්‍රමණ සමය ඇතුලත් වන පරිදි කුරුල්ලන් ගැන අධ්‍යනය සිදු කළ බවයි. නමුත් රාත්‍රී කාලයේ කුරුල්ලන් අධ්‍යනය නොකළ බව ඔහු තහවුරු කළේය.

”රෑට කුරුල්ලෝ කළුවරේ දකින්න තියෙන සමභාවිතාව අඩුයි කළුවරේ හින්දා. අනික අපි ටෙස්ට් රන් වගයක් කළාම අපිට ලොකු මුමන්ට් එකක් පෙනුනේ නැහැ. අපි එකතු කරපු දත්ත සහ පේස් වන් එකේ දත්තයි අනුව මොඩල් එකක් රන් කරලා තමයි මේ වාර්තාව සකස් කළේ. සුළං බලාගාරවල කුරුල්ලෝ වදිනවම තමයි. අපිට බින්දුවට ගේන්න බෑ. කුරුල්ලෝ වදින එක අඩු කරන්න තමයි අපි උත්සාහ කරන්නේ” යනුවෙන් මහාචාර්ය දේවක වීරකෝන් සඳහන් කළේය.

තම්බපවනි නමින් දැනටමත් මන්නාරමේ ක්‍රියාත්මක බලාගාරය නිසා කුරුල්ලන් මිය යන සංඛ්‍යාව කලින් ඇස්තමේන්තුවලට වඩා ඉහළ අගයකි.

‘මන්නාරමේ ජල ගැටළුවක් වගේම ගංවතුර අවදානම වැඩිවෙයි’

තම්බපවනි නමින් දැනටමත් මන්නාරමේ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සතු සුළං බලාගාරයක් ක්‍රියාත්මක වේ. එය ඉදි කිරීමේ දී ද මෙවැනිව පරිසර බලපෑම් තක්සේරුව් වාර්තාවක් සකස් කරන ලදී. නමුත් එම බලාගාරය නිසා සිදුවන කුරුලු මරණ සංඛ්‍යාව ඇස්තමේන්තු කළ අගයට වඩා වැඩිය. එම බලාගාරයේ ටර්බයින් ස්ථාපිත කර තිබෙන්නේ වෙරළ ආසන්නයේ එක් සීමාවක ය. නමුත් අදානි සමාගමේ ව්‍යාපෘතිය නිසා මන්නාරම දූපතේ විශාල වපසරියක ටර්බයින් ක්‍රියාත්මක වන බැවින් ඉන් සිදුවිය හැකි හානිය වැඩි බව පරිසරවේදීහු පවසති.

යෝජිත සුළං බලාගාරයේ එක් ටර්බයිනයක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉඩ ප්‍රමාණය මීටර් 27ක විස්කම්භයක් සහිත ප්‍රදේශයකි. එමෙන්ම සෑම ටර්බයිනයක් වෙතම මීටර් 17ක් පළල ප්‍රවේශ මාර්ගයක් සාදනු ලැබේ. එලෙස මාර්ග ඉදි කිරීමේ දී ස්වභාවික ජලවහන රටාවට බාධා සිදු වීම නිසා මන්නාරමේ ගංවතුර තත්ත්වය ඉහළ යා හැකි බව පරිසර යුක්ති කේන්ද්‍රයේජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ පෙන්වා දෙයි.

”අපි ගියපාර සුළං බලාගාර හදනකොට හඳුනාගෙන තිබුණේ නෑ මන්නාරමේ ගංවතුර ඇතිවෙයි කියලා. නමුත් පාරවල් දැම්මට පස්සේ ගංවතුර ආවා. දැන් මේ EIA එකේ හඳුනාගෙන තියෙනවා ස්ථාන හතඅටක්ම ගංවතුර ගලන ස්ථාන විදියට. මන්නාරමේ ගොඩක් තැන්වල වියළි ස්ථාන තියෙන්නේ. වතුර තියෙන තැන් තමයි මිනිස්සු බීමට ගන්නේ. අපි අනවශ්‍ය විදියට ඒ පරිසරය වෙනස් කළොත් මන්නාරමේ ජීවත්වෙන 70,000කට විතර වතුර නැති වෙනවා. ඊට අමතරව සුළං පෙතිවල සෙවනැළි බලපෑම තදින් දැනෙන්න පුළුවන්.” යනුවෙන් ඔහු කියා සිටියේය.

පරිසර බලපෑම් තක්සේරු වාර්තාව මගින් හඳුනාගෙන ඇති ගැටලු අවම කර ගැනීම සඳහා ඔවුන් සකස් කළ වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කර තිබේ. මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවියට ගොස් එය ඕනෑම කෙනෙකුට සිංහල , ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලින් කියවීමට මෙන්ම බාගත කර ගැනීමට හැකියාව ඇත. එමෙන්ම ඒ ගැන අදහස් ඉදිරිපත් කරන්නේ නම් මාර්තු 06 වැනිදාට පෙර [email protected] විද්‍යුත් තැපෑලට යොමු කළ හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved